වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමය විසින් තෝරාගනු ලබන ‘මාසයේ දක්ෂතම ක්‍රීඩකයා’ සම්මානය සඳහා මෙවර නිර්දේශිත නාමයන් අතරට සරේ ප්‍රාන්ත කණ්ඩායමට ක්‍රීඩා කරන කුමාර් සංගක්කාරගේ නමද ඇතුළත් වී තිබේ.
මෙම සම්මානය සඳහා සංගක්කාරට අමතරව තවත් ක්‍රීඩකයන් තිදෙනෙකුගේ නම් නිර්දේශ වී ඇති අතර ක්‍රීඩා ලෝලීන්ගේ මනාප වලින් සම්මානයේ හිමිකරුවා තෝරාගැනීමට නියමිතය.
ග්ලැමෝගන් ප්‍රාන්ත කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක කොලින් ඉන්ග්‍රම්, වෝවික්ෂයර් ප්‍රාන්ත කණ්ඩායමේ පිතිකරු ඩැරිල් මිචෙල් සහ එසෙක්ස් ප්‍රාන්ත කණ්ඩායමේ ආරම්භක පිතිකරු ඇලිස්ටෙයාර් කුක් එම සම්මානය සඳහා නිර්දේශිත වී සිටින සෙසු ක්‍රීඩකයෝ වෙති.
මෙවර තරග වාරයේ තරග 4 කදී ඉනිම් 7 ක් තුළ ශතක 4 ක් සහ ද්විත්ව ශතයක් සමගින් ලකුණු 805 ක් රැස්කිරීමට සංගක්කාර සමත්ව සිටින අතර එම දක්ෂතා පදනම් කරගෙන ඔහු නිර්දේශිත ලැයිස්තුවට ඇතුළත් කර තිබේ.
මෙවර එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරග වාරයේදී පිට පිටම ශතක 5 ක් ලබාගැනීමට සංගක්කාර සමත් වූ අතර ලැන්කෂයර් ප්‍රාන්තයට එරෙහිව ලබාගත් ලකුණු 136 ද, වොවික්ෂයර් ප්‍රාන්තයට එරෙහිව ලබාගත් ලකුණු 105 ද, මිඞ්ල්සෙක්ස් ප්‍රාන්තයට එරෙහිව ලබාගත් ලකුණු 114 සහ 120 ද, එසෙක්ස් ප්‍රාන්තයට එරෙහිව ලබාගත් ලකුණු 200 ද ඊට අන්තර්ගත විය.
එසෙක්ස් ප්‍රාන්ත කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේ පළමු ඉනිමේදී ද්විත්ව ශතකයක් ලබාගැනීම කුමාර් සංගක්කාර (200) සමත් වුවද, දෙවැනි ඉනිමේදී ඉතා අවාසනාවන්ත ලෙස ලකුණු 84 සිටියදී දැවී යාම නිසා ඔහුට පිට පිටම ලබාගැනීමට තිබූ 6 වැනි ශතකය අහිමිවී ගියේය.
ඉනිම් දෙකේදීම ශතක ලබාගැනීම නිසා මිඞ්ල්සෙක්ස් ප්‍රාන්ත කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී ප්‍රසාද ලකුණු 52 ක් හිමිකර ගත් සංගක්කාර, ද්විත්ව ශතකයක් සහ අර්ධ ශතකයක් ලබාගැනීම නිසා එසෙක්ස් ප්‍රාන්ත කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී ප්‍රසාද ලකුණු 65 ක් හිමිකර ගත්තේය.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.