ජෝ රූට් (නොදැවී 133), ඇලෙක්ස් හේල්ස් (95) සහ ඔයින් මෝගන්ගේ (නොදැවී 75) පිතිහරඹය හමුවේ ශූරයන්ගේ කුසලාන තරගාවලියේ ‘ඒ’ කාණ්ඩය යටතේ ඕවල්හිදී අද (01 වැනිදා) පැවැති තරගයෙන් බංග්ලාදේශයට එරෙහිව කඩුලු 8 ක ජයක් හිමිකර ගැනීමට එංගලන්තය සමත් විය. ජයග්‍රහණය සදහා ලකුණු 306 ක ඉලක්කයක් හඹාගිය එංගලන්තය ඕවර 47.2 කදි කඩුලු 2 ක් පමණක් දැවී එම ඉලක්කය සපුරා ගත්තේය.
පන්දු 115 කදී හතරේ පහර හයක් සමගින් 10 වන එක්දින ශතකය වාර්තා කළ ජෝ රූට් එංගලන්තයට ජය හිමිකර දෙමින් ඉනිම අවසන් කරනවිට පන්දු 129 කට මුහුණදෙමින් හයේ පහරක් සහ හතරේ පහර 11 ක් සමගින් නොදැවී ලකුණු 133 ක් රැස් කළේය. ජෝ රූට්ට අනගි සහයක් ලබාදෙමින් පන්දු 61 කදි ලකුණු 75 ක් රැස්කර ජයග්‍රහණය තෙක් කඩුල්ලේ රැඳී සිටි ඔයින් මෝගන්ගේ ඉනිමට හයේ පහර දෙකක් සහ හතරේ පහර අටක් ඇතුළත් විය.
පළමු කඩුල්ල ලකුණු 6 දී දැවී යාමෙන් අනතුරුව දෙවැනි කඩුල්ල සදහා ඇලෙක්ස් හේල්ස් සමගින් පන්දු 153 කදී ලකුණු 159 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ ජෝ රූට් තෙවැනි කඩුල්ල සදහා ඔයින් මෝගන් සමගින් එක්වද පන්දු 116 කදී ලකුණු 143 ක නොබිඳුණු සම්බන්ධතාවයක් ගොඩනැගීමට සමත් විය.
සිය නවවන එක්දින ශතකය පෙනි පෙනී සබීර් රහ්මන්ගේ පන්දුවක් හමුවේ අතිරේක ක්‍රීඩක සුන්සාමුල් ඉස්ලාම් අතට උඩපන්දුවක් දෙමින් ලකුණු 95 කට ඇලෙක්ස් හේල්ස් දැවී ගියේය. පන්දු 86 කට මුහුණදුන් හේල්ස්ගේ ඉනිමට හයේ පහර දෙකක් සහ හතරේ පහර 11 ක් ඇතුළත් විය.
පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය ඕවර 50 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 305 ක් රැස්කිරීමට සමත්විය. ශතකයක් රැස්කරමින් බංග්ලාදේශය ලකුණු 300 සීමාවට රැගෙන යාමට තමීම් ඉක්බාල් සමත්වූ අතර ලයම් ප්ලන්කට්ගේ පන්දුවක් හමුවේ ජොස් බට්ලර් අතට උඩපන්දුවක් දෙමින් ඔහු දැවීයන විටදී ලකුණු 128 ක් රැස්කිරීමට සමත්විය. පන්දු 142 කට මුහුණදුන් තමීම් ඉක්බාල්ගේ ඉනිමට හයේ පහර තුනක් සහ හතරේ පහර 12 ක් ඇතුළත් විය.
පළමු කඩුල්ල සදහා සෞම්‍ය සර්කාර් සමගින් පන්දු 72 කදි ලකුණු 56 ක සම්බන්දතාවයක් පැවැත්වූ තමීම් ඉක්බාල් තෙවැනි කඩුල්ල සදහා මුෂ්ෆීකූර් රහීම් සමගින් පන්දු 151 කදී ලකුණු 166 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට සමත් වූයේය. තමීම් ඉක්බාල් සහ මුෂ්ෆීකූර් රහීම් විසින් පැවැත්වූ ලකුණු සම්බන්ධතාය තම රටෙන් පිටතදී බංග්ලාදේශය වෙනුවෙන් පැවැත්වූ හොදම සම්බන්ධතාවය ලෙසින්ද වාර්තා පොත් අතරට එක්විය.
බංග්ලාදේශය විසින් එංගලන්තයට එරෙහිව ලකුණු 300 සීමාව පසුකළ පළමු අවස්ථාව මෙය වන අතර මීට පෙර රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව එංගලන්තයටම එරෙහිව රැස්කළ වූයේ ලකුණු 288 කි.
පන්දුවෙන් දස්කම් දැක්වූ ලයම් ප්ලන්කට් ඕවර 10 ක් යවමින් ලකුණු 59 කට කඩුලු 4 ක් දවාගැනීමට සමත් විය.
බංග්ලාදේශය - ඕවර 50 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 305
(තමීම් ඉක්බාල් 128, සෞම්‍ය සර්කාර් 28, මුෂ්ෆීකූර් රහීම් 79, සබීර් රහ්මන් 24, ලයම් ප්ලන්කට් 59/4)
එංගලන්ත - ඕවර 47.2 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 308
(ජෝ රූට් නොදැවී 133, ඇලෙක්ස් හේල්ස් 95, ඔයින් මෝගන්ගේ නොදැවී 75)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.