Last Update  :  2025-12-13 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner මැයි මාසයේ විශිෂ්ටතම ක්‍රීඩකයා සංගක්කාර

මැයි මාසයේ විශිෂ්ටතම ක්‍රීඩකයා සංගක්කාර

සංජය එරමුදුගොඩ - 2017 ජුනි මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


එංගලන්තයේ සරේ ප්‍රාන්තය වෙනුවෙන් ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා පිලේ හිටපු නායක කුමාර් සංගක්කාර මෙවර එංගලන්ත ප්‍රාන්ත තරගාවලියේදී මැයි මාසයේ විශිෂ්ටතම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනාගෙන තිබේ. එංගලන්ත ප්‍රාන්ත තරගාවලියට ක්‍රීඩා කරමින් සිටින තවත් ක්‍රීඩකයන් තිදෙනකු සමග තරග කළ සංගක්කාරට අනෙක් ක්‍රීඩකයන් තිදෙනටම හිමි ඡන්ද සංඛ්‍යාවේ එකතුව මෙන් දෙගුණයක් පමණ ඡන්ද හිමිවී තිබේ.

වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමයේ තේරීම අනුව ප්‍රසාද ලකුණු 167 ක් හිමිකරගනිමින් මැයි මාසයේ විශිෂ්ටතම ක්‍රීඩකයන් සිවුදෙනා අතරට සංගක්කාර එක්ව සිටියේය. එංගලන්ත පිලේ ආරම්භක පිතිකරු ඇලිස්ටෙයාර් කුක් (එසෙක්ස්), වූෂ්ටර්ෂයර පිලේ ආරම්භක පිතිකරු ඩැරිල් මිචෙල් සහ ග්ලැමෝගන් පිලේ තුන් ඉරියව් ක්‍රීඩකයා වන කොලින් ඉන්ග්‍රම් මැයි මාසයේ විශිෂ්ටතම ක්‍රීඩකයා තරගය සඳහා ඡන්ද විමසීමට ඉදිරිපත් කරනු ලැබ තිබිණ.

වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමයේ වෙබ් අඩවියේ සහ ලොව පරසිඳු ‘ස්කයි ස්පෝට්ස්’ වෙබ් අඩවිය ඔස්සේ මෙම ක්‍රීඩකයන් සිවුදෙනාට ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව ක්‍රිකට් ලෝලීන්ට ලැබිණ. එහෙත් සෙසු ක්‍රීඩකයන් තිදෙනාම ලබාගත් ඡන්ද සංඛ්‍යාවට වඩා දෙගුණයක් ඡන්ද ලබාගනිමින් කුමාර් සංගක්කාර මැයි මාසයේ විශිෂ්ටතම ක්‍රීඩකයාගේ සම්මානය හිමිකරගත්තේය.

“ඒක හරිම සුන්දර සම්මානයක්. වෘත්තීය ක්‍රිකට් ක්‍රිඩකයන්ගේ සංගමයේ ඔබටත් මට ඡන්දය ප්‍රකාශ කළ සියලු දෙනාටත් ස්තුතියි. මේ සම්මානය ලැබෙන්නේ මා ඉතාමත් හොඳින් ලකුණු අතර සිටින නිසයි” යයි කුමාර් සංගක්කාර පවසා තිබිණ.

ක්‍රිකට් ලෝකය පුරා ‘කිං කුමාර්’ (කුමාර් නම් රජ්ජුරුවෝ) යනුවෙන් හැඳින්වෙන සංගක්කාර ලබන සිකුරාදා සරේ පිල වෙනුවෙන් එසෙක්ස් පිලට එරෙහිව ගිල්ඞ්ෆෝඞ්හිදී පැවැත්වෙන තරගයට සහභාගි වීමට නියමිතය.
“මා හිතනවා අපට ගිල්ෆෝඞ්හි තරගයත් දිනාගන්න පුළුවන් වෙයි කියලා. සැලැස්ම ඒක තමයි”
“අපි පසුගිය කාලයේදී හොඳින් ක්‍රීඩා කළා. තරග දිනාගත්තා. ඒත් ඉදිරියේදී තවත් තරග දිනන්න නම් වඩාත් හොඳින් ක්‍රීඩා කරන්න වේවි” යයිද පැවසූ සංගක්කාර....

“තරගාවලිය අවසන් වන විට මේ (සුපර්සේවර්ස්) කුසලානය වෙනුවෙන් තරග වදින්න අප බලාපොරොත්තුවෙන් ඉන්නේ. ඒ නිසා තව වැඩ ගොඩාක් කරන්න තියෙනවා. තරගාවලිය මේ වන විට හොඳටම විවෘතයි” යයිද පැවසීය.

වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමයේ ශ්‍රේණිගත කිරීම අනුව එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලිය අවසානයේදී අගනාම ක්‍රීඩකයාට ස්ටර්ලින් පවුම් 10,000 ක ත්‍යාගයක් සහ කුසලානයක් හිමිවේ.

වසර දෙකකට ඉහතදී ටෙස්ට් පිටියෙන් සමුගත් සංගක්කාර ටෙස්ට් තරග 134 කට, එක්දින තරග 404 කට සහ විස්සයි-20 අන්තර්ජාතික තරග 56 කට ක්‍රීඩා කර තිබේ. අන්තර්ජාතික පිටියෙන් සමුගත් නමුත් ඔහුගේ පිත්තෙන් ලකුණු ගලා ඒම තවමත් නතර වී නැත.

මිඞ්ල්සෙක්ස් පිලට එරෙහිව ලෝඞ්ස්හිදී පැවැති තරගයේදී ඉනිම දෙකේදීම ශතක ලබාගත් අතර ඊළඟ තරගයේදී ද්විත්ව ශතකයක් ලබාගත්තේය. සරේ පිල වෙනුවෙන් ක්‍රීඩා කරමින් පිට පිටම පළමු පෙළ ශතක 5 ක් ලබාගත් සංගක්කාර 6 වැනි පළමු පෙළ ශතකය ලබාගැනීමට යාමේදී පිටියේ එක් අන්තයක තනිවිය. ශතකය කරා යාමට තරමක් ඉක්මන් වූ සංගක්කාර ලකුණු 84 දී දැවී ගියේය.

මේ වන විට අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ විශේෂඥ ක්‍රිකට් විස්තර විචාරයකු වශයෙන්ද කටයුතු කරන සංගක්කාර මෙවර එංගලන්ත ප්‍රාන්ත තරගාවලිය නිමාවේදී පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට සූදානමින් සිටී.

 


අදහස් (0)

මැයි මාසයේ විශිෂ්ටතම ක්‍රීඩකයා සංගක්කාර

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.