දකුණු අප්‍රිකාව එරෙහිව පැවැති තරගය පරාජයට පත්වීම ශ්‍රී ලාංකිකයන්ට ඉතාමත් කනගාටුදායක ආරම්භයක්. ඇන්ජලෝ මැතිව්ස්ගේ අඩුව අපිට හොඳින්ම පෙනුණා. ඒ වගේම මාස 18 කාලයක ඉඳන් අපි අස්ථාවර ඇයි කියන දේ දකුණු අප්‍රිකාව එරෙහිව තරගයේදී හොඳින් දකින්නට තිබුණා.
පන්දු යවන්නන් හොඳින් ආරම්භ කළා වගේම හෂීම් අම්ලා සහ ෆෆ් ඩු ප්ලෙසිස් දෙදෙනාගේ අපූර්ව සබඳතාවයෙන් පස්සේ අපේ පන්දු යවන්නන් අවසාන පන්දු වාර කිහිපයේදී නැවත හොඳ සටනක් දුන්නා.
නිරෝෂන් දික්වැල්ලත් උපුල් තරංගත් ලබාදුන් සජීවි ආරම්භය අපට ජයග්‍රහණය ගැන යම් ඉඟියක් දුන්නා.
එහෙම වුණත් තමන්ගේ කාර්යභාරය තේරුම් ගැනීමේදී තිබූ අවිනිශ්චිතතාවත් අරමුණ පිළිබඳව පැහැදිලි බවක් නොතිබුණු ආකාරයත් හොඳින් පෙනෙන්ට තිබුණා. අවස්ථාවේ හැටියට තමන්ගේ ශක්තියේ පමණින් කටයුතු කරන්න ශ්‍රී ලංකා ක්‍රීඩකයන් බියක් පෙන්නුවා.
ඔවුන් නැවත සමූහයක් විදියට ක්‍රීඩා කරාවි කියලා මම විශ්වාස කරනවා. ඔවුන් ගැන මම දන්න තරමට ඔවුන්ගේ අපූරු දක්ෂතා සහ කුසලතා සම්පූර්ණයෙන් පෙන්වන අපේ විදියේ ක්‍රිකට් ක්‍රීඩා කරාවි කියලා මම විශ්වාස කරනවා. අපිට අපේම ශෛලියක් තිබෙනවා. ඔවුන් ඒ විදියට ක්‍රීඩා කරනු ඇතැයි මම විශ්වාස කරනවා.
අනෙක් අතට දකුණු අප්‍රිකානුවන් ඉතා වැදගත් ප්‍රසාද ලකුණු තමන්ගේ මල්ලට දමා ගනිමින් ජයග්‍රහණයක් අත්පත් කරගැනීම ගැන සතුටු වෙනවා ඇති. එහෙත් ඔවුන් අංක එකේ කණ්ඩායම විදියට ක්‍රීඩා කළේ නැහැ. ශූරයන්ගේ කණ්ඩායමක් විදියට ක්‍රීඩා කළේ නැහැ. අනාගතයේදී ඔවුන් සමග තරග වදින, කවුරුහරි එදා ඔවුන් දිහා බලා හිටියත්, හැම දෙයක්ම 100%ක්ම නිවැරදිව කරන, පරාජය කළ නොහැකි කණ්ඩායමක් දිහා තමන් බලා සිටි බව හිතන එකක් නෑ.
කෙසේ නමුත් ඔවුන් ඔවුන්ගේ ස්වභාවය, ගුණාංග පෙන්නුවා. දුෂ්කර තැනක සිට නැවත පැමිණෙන්නේ කෙසේදැයි ඔවුන් පෙන්නුවා. ඒ වගේම පා දඟ පන්දු යවන ඉම්රාන් තාහීර් තමන්ගේ කණ්ඩායමේ සිටීමෙන් තමන්ගේ පන්දු යැවීමේ බලඇණිය කොතරම් ප්‍රබල සහ ඵලදායී, ශක්තිමත් බල ඇණියක් බව ඔවුන් පෙන්නුම් කළා. ඔහු තරග දිනවන්නෙක්. තාහීර් ඔහුගේ කුසලතා සහ විපුලත්වය ඔස්සේ තමන්ගේ කණ්ඩායම ඔසවා තැබුවා.
දකුණු අප්‍රිකා කණ්ඩායම මෙහෙයවමින් ඒ.බි ඩිවිලියර්ස් හොඳ සටන්කාමීත්වයක් පෙන්නුවා. ඉනිම ආරම්භයේදී වේන් පානෙල්ට වුවමනාවට වඩා පන්දු වාර ප්‍රමාණයක් යැවීමට සැලැස්වීම හැර තමන්ගේ අධිකාරිය සහ කුසලතාව ඇතිව ඩිවිලියර්ස් තමන්ගේ කණ්ඩායම මෙහෙයවූවා. පන්දු රකින්නන් යොදවපු ආකාරය ඉතාමත් සිහිකල්පනාවෙන් කළ එකක්. ඒ වගේම අභියෝගාත්මකයි.
ඔහු පන්දු යවන්නන් වෙනස් කරපු ආකාරය දැකුම්කළුයි. ඒ වගේම ඉතා ඵලදායී. දකුණු අප්‍රිකා කණ්ඩායම තරගයේදී තමන්ගේ ආධිපත්‍යය නොපෙන්වුවද ඔවුන්ට ප්‍රතිඵලය ගැන සෑහිමකට පත්විය හැකියි. ඒ වගේම තමන්ට මීට වඩා දෙයක් කළ හැකි බවට ඔවුන්ට තිබෙන අවබෝධය හා විශ්වාසය ඉතා වැදගත්.
තරගයට පෙර මැතිව්ස් ආබාධයකට ලක්වීමත් සමඟ ශ්‍රී ලංකාවේ ප්‍රශ්න ඇති වුණා. නායකයා නොමැතිව ඒ වගේම කණ්ඩායමේ සිටින වඩාත් අත්දැකීමක් තිබෙන සහ ශක්තිමත් පිතිකරුවා නොමැති දකුණු අප්‍රිකා කණ්ඩායමට මුහුණ දීම සුවිශාල අභියෝගයක්.
ඒ නිසා කණ්ඩායම තේරීමේදී උභතෝකෝටිකයක් පැන නගිනවා. පිතිහරඹ අංශය ශක්තිමත් කිරීමට තීරණය කරමින් ඔවුන් වඩාත් සාම්ප්‍රදායික ක්‍රමවේදයකට කණ්ඩායම තේරුවා. ඔවුන් විශේෂඥ පන්දු යවන්නන් සිවුදෙනකු සහ අසේල ගුණරත්න පස්වැනි පිතිකරුවා ලෙස තෝරාගත්තා. ඒ වගේම දීර්ඝ කාලයකට පස්සේ ලසිත් මාලිංග එක්දින ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කරන බවට වන කරුණත් සමඟ එය දකුණු අප්‍රිකාවේ ශක්තිය සමඟ ලංසු තැබීමක් හා සමානයි.
කාසියේ වාසිය දිනාගැනීමෙන් අනතුරුව දෙයාකාරයක වේගයක් සහිත තණතීරුවෙන් මුල් පන්දුවාර කිහිපයේදී උපරිම ප්‍රයෝජන ගැනීමේ අපේක්ෂාවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකා කණ්ඩායමට පන්දු පහරදීමට ආරාධනා කළා. ඇත්ත වශයෙන් මාලිංග සහ ලක්මාල් මුල් පන්දුවාර දහයේදී නිසි එල්ලයකට පන්දුව එල්ල කළා වගේම ක්වින්ටන් ඩි කොක් සහ අම්ලා පන්දු යවන්නන්ටත් හොඳ පන්දු වලටත් ගරු කරමින් පන්දුවට පහර දුන්නා.
කඩුල්ලේ තිබූ අවිනිශ්චිත වේගය නිසා පන්දුවට පහරදීම දුෂ්කර කාර්යයක් වුණා. ඒ වගේම පිතිකරුවන් දෙදෙනාටම පන්දු පහරදීමේදී කාලය සොයාගැනීමට නොහැකි වුණා. ශ්‍රී ලංකා පන්දු යවන්නන් විශිෂ්ඨ ආකාරයෙන් තණතීරුව තේරුම් ගෙන තිබුණා වුණත් ලකුණු රැස්කිරීම දුෂ්කර කරමින් විරුද්ධවාදීන් මෙල්ල කරගන්න ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා.
ලකුණු වේගය වැඩි කිරීමේ අරමුණින් ඩු ප්ලෙසිස් අලුත් පහරවල් එල්ල කරන්නට පෙළඹුණා. අවාසනාවකට ඩු ප්ලෙසිස් දවා ගැනීමට තිබූ අවස්ථාවක් මග හැරුණා. පිටියේ කෙළවර පන්දු රකිමින් සිටි මාංලිගට නිසි ආකාරයෙන් උඩ පන්දුව විනිශ්චය කරගැනීමට නොහැකි වුණු නිසා එම අවස්ථාව අහිමි වුණා.
ඉන් අනතුරුව ඩු ප්ලෙසිස් සහ අම්ලා ඉතා බුද්ධිමත්වත් දක්ෂ ලෙසත් ක්‍රීඩා කළා. ශක්තිමත් පදනමක අවශ්‍යතාව තේරුම් ගනිමින් විටෙක ආක්‍රමණශීලි ලෙසත් විටෙක පරීක්ෂාකාරී ලෙසත් පන්දුවට පහර දුන්නා. ඒ වගේම ඔවුන් විශිෂ්ඨ ලෙස කඩුළු අතර දිවගියා. ඔවුන් පන්දු යවන්නන්ගේ කාර්ය දුෂ්කර කරමින් හිඩැස් අතරට පන්දුව යොමු කරමින් ලකුණු රැස් කළා. ඒ වගේම වැඩි අවදානමක් සහිත පහරවල් එල්ල කිරීම අඩු කළා.
ඩු ප්ලෙසිස් ලකුණු 75කට දැවී යද්දි දකුණු අප්‍රිකාව ශ්‍රී ලංකා කණ්ඩායමට හඹා යා හැකි සීමාවෙන් ඔබ්බෙන් වූ ලකුණු ප්‍රමාණයක් රැස් කළ හැකි තත්ත්වයකට යමින් ශ්‍රී ලංකාවට තර්ජනයක් වෙමින් සිටියා. කෙසෙ නමුත් ඩිවිලියර්ස් ඉක්මනින් දැවී යාමත් අති විශිෂ්ඨ ශතකයකට පසු අම්ලා දුවද්දි දැවී යාමකට හසුවීමත් සමඟ නැවත තරගයේ පාලනය සියතට ගැනීමට ලංකාව සමත් වුණා.
තර්ජනාත්මක ලකුණු සංඛ්‍යාවක් රැස් කිරීමේ හැකියාව සිටි දකුණු අප්‍රිකාව එක් අවස්ථාවකදී ලකුණු 290 කටත් වඩා අඩු ලකුණු සංඛ්‍යාවක් රැස් කරන තත්ත්වයකට පත්වුණා. එහෙත් ජේ.පි ඩුමිනිගේ අලංකාර කෙටි ඉනිම නැවත වරක් දකුණු අප්‍රිකා කණ්ඩායම ඔසවා තැබුවා.
දකුණු අප්‍රිකාවේ ලකුණු සංඛ්‍යාව සෑහිමකට පත්විය හැකි වුවත් ‘ද ඕවල්’ ක්‍රීඩාංගනයේ උපරිම ලකුණු සංඛ්‍යාවට වඩා වැඩි වූයේ ඉතා සුළු ප්‍රමාණයකින්. ඒ වගේම ශ්‍රී ලංකා කණ්ඩායම විශ්වාසයෙන් සහ සෑහිමකට පත්වෙමින් පිටියෙන් ඉවතට ඇවිද ගියා වුණත් ඕනෑම අවස්ථාවක ඕනෑම දෙයක් වෙන්න පුළුවන් දැනගෙන ඉන්න ඇත. ජයග්‍රහණය සඳහා අවශ්‍ය වූයේ ශක්තිමත් ආරම්භයක් සහ සබඳතා කිහිපයක් පමණි. ඒ වගේම මුල් ස්ථාන හතරේ පිතිකරුවන්ගෙන් එක් අයෙක් අවසානය තෙක් පන්දුවට පහරදීම පමණයි. අවාසනාවකට එයින් වුණේ එක් දෙයක් පමණයි. අපට ඉතා හොඳ ආරම්භයක් ලැබුණා.
නිරෝෂන් දික්වැල්ල අලංකාර හා අලුත් පන්නයට පන්දුවට පහර දෙමින් ශ්‍රී ලංකාවට වේගවත් ආරම්භයක් ලබා දුන්නා. දික්වැල්ල කගිසෝ රබාඩා සහ වේන් පානෙල්ගේ වේගය හමුවේ සුරක්ෂිත ලෙසත් ශක්තිමත් ලෙසත් විශ්වාසයෙන් යුතුවත් පහර දුන්නා. සීමා ඉර මත එහාට මෙහාට ඇවිද යමින් පන්දු යවන්නන් කළඹමින් තමන්ට අවශ්‍ය තැනට පන්දුව ගෙන්වා ගැනීමට දික්වැල්ල සමත් වුණා. පන්දුවාර දහයකට පස්සේ ලංකාව අවශ්‍ය වේගයට වඩා වැඩියෙන් ලකුණු රැස් කරමින් සිටියත් ලංකාවේ සතුට තිබුණේ ටික වේලාවකට පමණයි. මෝනි මෝකල් දික්වැල්ල නැවත ක්‍රීඩාගාරයට යැවීමට සමත් වුණා වගේම ඩිවිලියස්ගේ විශිෂ්ඨ පන්දු උඩ පන්දු රැකීම හමුවේ කුසල් මෙන්ඩිස්ටත් එම ඉරණම අත්වුණා.
ශ්‍රී ලංකා කණ්ඩායමේ අත්දැකීම් බහුලම දෙදෙනා කඩුල්ලේ රැඳී සිටියදී තරගය සමබර තත්ත්වයක පවතින අවස්ථාවේදී තහීර් පන්දු යැවීම ආරම්භ කළා. ඉන් අනතුරුව තහීර් තමන්ගේ ජයග්‍රාහී පන්දුවාර කිහිපය යවමින් ශ්‍රී ලංකා කණ්ඩායම මැද පෙළ සුණු විසුණු කරමින් ජයග්‍රහණය ගැන ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු බලාපොරොත්තු සුණු විසුණු කළා.
තරගාවලිය ජයග්‍රහණය කරනු ඇතැයි අපේක්ෂා කරන කණ්ඩායමක් පරාජය කිරීමට තිබූ අවස්ථාවක් මඟහරවා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව කනගාටුවට පත් වෙනවා ඇත. පීඩනය දරා ගැනීමට තිබෙන නොහැකියාව, සබඳතා පවත්වා ගනිමින් තරගයේ අවසානය දක්වා ගමන් කිරීම සහ තත්ත්ව කියවා ගැනීමට තිබූ නොහැකියාව නිසා දකුණු අප්‍රිකාව හමුවේ තිබූ තර්ජනය නැවත ශ්‍රී ලංකාව පැත්තට හැරවුණා. එයින් ඔවුන්ට ජයග්‍රහණය හිමි වුණා.
ආරම්භක තරගයේදී මැතිව්ස් ආරක්ෂා කරගනිමින් ඉන්දියාව සමඟ තරගයට ඔහු ආරක්ෂා කරගැනීමේ අරමුණක් ශ්‍රී ලංකා කණ්ඩායමට තිබුණා විය හැකියි. එසේ වුණත් දකුණු අප්‍රිකාවේ ඉලක්කය හඹා යෑමේදී මැතිව්ස්ගේ අඩුව තදින්ම දැනුණා. ඔහුගේ හැකියාව සහ ලකුණු අතර සිටීම දකුණු අප්‍රිකා ඉලක්කය හඹා යෑමේදී මෙම තරගයේදී හොඳින් දැනුණා. එය අත්‍යාවශය බව හොඳින් පෙනී ගියා.
(අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නිල වෙබ් අඩවියට කුමාර් සංගක්කාර ලියූ ලිපියක් ඇසුරිනි)
- සැකසුම : හර්ෂණ තුෂාර සිල්වා
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.