ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැති තරගයේදී නියමිත කාලය ඇතුළත ඕවර 50 නොයැවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ තාවකාලික නායකයාව සිටි උපුල් තරංගට තරග දෙකක තහනමක් නියම කර තිබේ. ඒ අනුව ශූරයන්ගේ කුසලාන තරගාවලියේ ඉදිරි තරග දෙකට සහභාගි වීමට තරංගට අවස්ථාව නොලැබෙනු ඇත.
ලන්ඩන් ඕවල් පිටියේදී පැවැති මෙම තරගයේදී නියමිත කාලය තුළ ඕවර 50 යැවීමට අපොහොසත් වීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන්ටද ඔවුන්ගේ තරග මුදලින් 60% ක දඩ මුදලක් නියම කර තිබේ. ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා තරගයේ තීරකවරයාව සිටි ඬේවිඞ් බූන් මහතා විසින් මෙම දඬුවම් සහ දඩ මුදල් නියම කරන ලදි.
ඕවර 50 ක් යැවිය යුතු කාලයේදී ශ්‍රී ලංකා කණ්ඩායම යවා තිබුණේ ඕවර 46 ක් පමණි.
අන්තර්ජාතික තරග සඳහා අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් පනවා ඇති විනය නිති මාලාවේ 2.5.2 වගන්තිය අනුව තරගයක නියමිත කාලය ඇතුළතදී යැවිය යුතු ඕවර සංඛ්‍යාවට ඕවර 2 ක් අඩුවේ නම් ක්‍රීඩකයන්ට 10% ක දඩයකට යටත් වීමට සිදුවේ. නියමිත කාලය තුළදී නොයැවෙන ඕවර සංඛ්‍යාව 2 ට වඩා වැඩිවන්නේ නම් ක්‍රීඩකයන්ට 20%ක දඩයකට යටත් වන අතර නායකයාට තහනම් ලකුණු 2 ක් එක්වේ. තහනම් ලකුණු 2 ක් යනු ටෙස්ට් තරගයක හෝ එක්දින තරග දෙකක නැතහොත් විස්සයි:20 තරග දෙකක තහනමකට ලක්වීමකි.
මෙම තත්ත්වය යටතේ මේ මස 8 වැනිද ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන තරගයටත්, 12 වැනිදා පාකිස්තානයටත් එරෙහිව පැවැත්වෙන තරගයට සහභාගි වීමේ අවස්ථාව තරංගට අහිමි වනු ඇත. තරංග සිය වරද පිළිගත් හෙයින් ඒ සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පැවැත්වීමට අවශ්‍යතාවක් නොවීය.
තරංග වරදට හසුවූ ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා තරගයේදී ඉයන් ගෝල්ඞ් සහ අලීම් දාර් යන මහත්වරු ප්‍රධාන විනිසුරුවරුන් ලෙසද පෝල් රයිෆල් මහතා තුන්වැනි විනිසුරුවරයා වශයෙන්ද කටයුතු කළේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.