Last Update  :  2025-07-06 14:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner චරිත්, වනිඳු, අවිෂ්ක තිදෙනාට තරග තහංචි

චරිත්, වනිඳු, අවිෂ්ක තිදෙනාට තරග තහංචි

සංජය එරමුදුගොඩ - 2016 මාර් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර්’ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේදී විනය විරෝධීව හැසිරුණේ යැයි කියන සිද්ධීන් හේතුවෙන් ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිලේ නායකයා ඇතුළු ක‍්‍රීඩකයන් තිදෙනකුට තරග තහනම් පැනවීමට ශ්‍රී ලංකා පාසල් ක‍්‍රිකට් සංගමය පියවර ගෙන තිබේ.

ගාල්ල රිච්මන්ඞ් විදුහල් පිල නියෝජනය කරන ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිලේ නායක චරිත් අසංලක, තුන් ඉරියව් ක‍්‍රීඩක වනිඳු හසරංග සහ මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහලේ ප‍්‍රබල පිතිකරු අවිෂ්ක ප‍්‍රනාන්දු යන ක‍්‍රීඩකයන්ට මෙම තහනම් පනවා තිබේ.

අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ නීති රීති මාලාවේ ක‍්‍රීඩක විනය පිළිබඳව පරිච්ජේදයේ 3.3 වගන්තියට අනුව චරිත් අසලංකට තරග 2 ක් ද, වනිඳු හසරංගට තරග 3 ක් ද, අවිෂ්ක ප‍්‍රනාන්දුට තරග 5 ක් ද පාසල් ක‍්‍රිකට් සංගමයේ විනය කමිටුව විසින් තහනම් කරනු ලැබ ඇත. මෙම තහනම් කි‍්‍රයාත්මක වන්නේ ශී‍්‍ර ලංකා පාසල් කි‍්‍රකට් සංගමය සංවිධානය කරන තරග වලදී පමණි.

මේ පිළිබඳව කළ විමසුමකදී පාසල් ක‍්‍රිකට් සංගමයේ ලේකම් ඩිල්ෂාන් ද සිල්වා මහතා පැවසුවේ ශ්‍රී ලංකා ක‍්‍රිකට් කී‍්‍රඩාවේ අනාගතය පිළිබඳව අවධානය යොමු කරමින් මෙම තීරණය ගත් බවයි.

‘‘මේ ක‍්‍රීඩකයන් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ අනාගතයේ ඉදිරියට එන අය. මේ අය පාසල් මට්ටමේදීම මේ විදියට හැසිරුණොත් ඔවුන්ට ඉදිරියට යන්න බැරි වෙයි. ඒ නිසා පරීක්‍ෂණයක් කරලා විනය කමිටුව සහ තරගාවලි කමිටුව තමයි මේ තීරණය ගත්තේ’’

‘‘අන්තර් පාසල් මහ ක‍්‍රිකට් තරගවලට සහභාගි වීමට මේ ක‍්‍රීඩකයන්ට බාධාවක් නෑ. ඒ ගැන පාසල් බලධාරීන් තීරණය කරන්න  ඕනේ. නමුත් පාසල් සංගමයේ තරගවලදී තහනම ක‍්‍රියාත්මක වෙනවා’’ යැයි ලේකම්වරයා වැඩි දුරටත් පැවසීය.

ගාල්ල රිච්මන්ඞ් විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේදී විනිසුරුවන්ට බලපෑම් කිරීම සහ විනිසුරුවන්ට පරිභව කිරීම යන චෝදනාවලට රිච්මන්ඞ් විදුහලේ නායක චරිත් අසංලක සහ වනිඳු හසරංග වැරදිකරුවන් බවට පත්ව තිබේ.

මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල සහ මාතර ශාන්ත සර්වේශස් විදුහල අතර පැවැති තරගයේදී පන්දුවට පහර දෙමින් සිටියදී පන්දු රකින්නන්ට දැඩි සේ බාධා වන ලෙස අවිෂ්ක ප‍්‍රනාන්දු කටයුතු කළ බවට චෝදනාවට වැරදිකරු බවට පත්ව තිබේ.


 ●●●

 


අදහස් (0)

චරිත්, වනිඳු, අවිෂ්ක තිදෙනාට තරග තහංචි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.