Last Update  :  2025-12-13 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner එංගලන්තය - නවසීලන්තය අතුරේ යාමට සැරසෙයි

එංගලන්තය - නවසීලන්තය අතුරේ යාමට සැරසෙයි

Nisanka Sandeepani - 2017 ජුනි මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බංග්ලාදේශය සමග පැවැති තරගයේදී විශිෂ්ට ජයක් ලබා අයි.සී.සී. ශූරයන්ගේ කුසලාන තරගාවලියට සාර්ථක ආරම්භයක් ලබාගත් නමුත් සත්කාරක එංගලන්තය අද (6) මුහුණ දෙන්නේ ශූරයන්ගේ කුසලාන තරගාවලියේ වඩාත්ම අභියෝගාත්මක තරගයට කිවහොත් එය පවතින තත්ත්වයට වඩා වැඩි යමක් නොවේ. ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන්ටත් එළව එළවා පහර දුන් නවසීලන්ත පිතිකරුවන් මෙල්ල කරගැනීම ඒ හැටි පහසු කරුණක් නොවේ.

එය එක් අතකින් එංගලන්තයට පමණක් නොව නවසීලන්තයට ද තීරණාත්මක තරගයක් බවට පත්වී තිබේ. එබැවින් මෙම තරගය වඩාත්ම පහසුවෙන් හැඳින්විය හැක්කේ අතුරේ යාමක් ලෙසිනි. 
ඕස්ට්‍රේලියාව සමග පැවැති සිය පළමු තරගය වර්ෂාව නිසා ජයපරාජයෙන් තොරව නිමාවට පත්වීමෙන් එක් ප්‍රසාද ලකුණක් පමණකට පමණක් හිමිකම් කියන නවසීලන්තයට අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු රඳවා තබාගැනීමට නම් අද තරගය ජයගත යුතුමය.

එංගලන්තය අවසන් පූර්ව වටයට එක් පාදයක් පමණක් තබාගෙන සිටින අතර නවසීලන්තය තවත් ප්‍රසාද ලකුණු දෙකකින් සිය ප්‍රවේශපත්‍රය තහවුරු කරගැනීමේ අභිලාෂයෙන් සිටී.

බංග්ලාදේශයට එරෙහිව ජය ලැබූ තරගයේදී එංගලන්ත පිල දැක්වූ ප්‍රවේශම්කාරී පිතිහරඹය අද තරගයේදී නවසීලන්තයේ දැඩි අවධානයට ලක්වනු ඇත. සිය 10 වැනි එක්දින ශතකය ලබාගත් ජෝ රූට් සහ ලකුණු 5 කින් අනගි ශතකයක් අහිමි කරගත් ආරම්භක පිතිකරු ඇලෙක්ස් හේල්ස්ගේ පිතිහරඹය ගැන නවසීලන්ත ක්‍රීඩකයන් වැඩි අවධානයක් යොමු කර තිබේ.

එංගලන්ත පිලේ නායක ඔයින් මෝගන්ට බංග්ලාදේශය සමග පැවැති තරගයේදී දැනුණු සැනසිලිදායක මානසිකත්වය මෙම තරගයේදී එහෙම පිටින්ම වෙනස් වනු ඇතග ඔහු එදා තරගයේදී පන්දු 61කින් නොදැවී ලකුණු 75ක් රැස් කළේ  එයින් ලැබූ උත්තේජනයේ පිහිටෙනි.

ඔහුගේ කනස්සල්ලට හේතුවනු ඇත්තේ සිය අවසන් එක්දින තරග 6 දී ලකුණු 20 සීමාව පසු කිරීමට අසමත්ව සිටින ආරම්භක පිතිකරු ජේසන් රෝයිගේ ලකුණු අහේනියයි. අනික් අතට එම තරගයේදී එංගලන්ත පිලේ ප්‍රබලතම තුරුම්පුවක් වන වේගපන්දු යවන ක්‍රිස් වෝක්ස් ඕවර 2 කට පසුව තුවාල ලබා පිටියෙන් පමණක් නොව මුලු තරගාවලියෙන්ම ඉවත්වීම මෝගන්ගේ කනස්සල්ල තවත් තිව්ර කරවන්නකි.

වෝක්ස් වෙනුවට කණ්ඩායමට එක්වී සිටින්නේ ස්ටීවන් ෆින්ය. ඔහු අද තරගයට ක්‍රීඩා කරන බව එංගලන්ත කඳවුර දැනටමත් තහවුරු කර තිබේ. සිය පන්දු යැවීමේ අංශයේ විවිධත්වයක් ඇති කරලීම සඳහා ‍පාදඟ පන්දු යවන ආදිල් රෂීඩ් ද අද තරගයට එක් කිරීම මෝගන්ගේ අරමුණ වී තිබේ.  එසේවුවත් ඕස්ට්‍රේලියාව සමග පැවති තරගයේදී නවසීලන්ත පිල විචක්ෂණව ක්‍රීඩා කළ හෙයින් මෝගන්ගේ බලාපොරොත්තු වර්ෂාවට හසුවීමට ද ඉඩ තිබේ.

නවසීලන්ත පිලේ නායක කේන් විලියම්සන් සිය කණ්ඩායම මෙහෙයවමින් සිටින්නේ පිතිහරඹ අංශයේ පෙරමුණ ගනිමිනි. ඔහු ඕස්ට්‍රේලියාවට එරෙහිව ශතකයක් රැස් කරමින් සිය කණ්ඩායමේ වඩාත් විශ්වාසනීය පිතිකරුවා බවට පත්වීමට සමත්විය. එදා තරගයේදී මාටින් ගප්ටිල් ලකුණු 26 කට දැවී ගියත් දිර්ඝ ඉනිමක් ප්‍රවේගකාරී ආකාරයට ක්‍රීඩා කිරීමට උපන් හපන්කම් දක්වන ගප්ටිල් මෙල්ල කිරිම එතරම් පහසු දෙයක් නොවේ.

නවසීලන්ත පිලේ වේගපන්දු බැටරියට නිතරම ජීවය කවන ටිම් සවුති සමග ඇඩම් මිල්න් හා ට්‍රෙන්ට් බෝල්ට් පෙනෙන හැටියට එංගලන්ත පිලේ පිතිකරුවන්ට දැඩි හිසරදයක් වනු නිසැකය.

විශේෂයෙන් පසුගිය වසර 2දී එංගලන්ත පිල සුදු පන්දුවෙන් කරන ක්‍රීඩාවේදි සාර්ථකත්වයක් ලබා ගෙන සිටියත්ල නවසීලන්තය හා එංගලන්ත අතර පැවත්වෙන ඕනෑම ආකාරයක තරග අතිශයින්ම තියුණු මුහුණුවරක් ගන්නා එකකි. මෙම තරගයේ දී දෙපිලම කරට කර සටනක නිරතවනු ඇතැයි මගේ බලාපොරොත්තුවයි  අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ වෙබ් පිටුවට තීරු ලිපියක් ලියමින් නවසීලන්ත පිලේ හිටපු වේගපන්දු යවන්නකු වන ෂේන් බොන්ඩ් එසේ කීවේය.

 

- 077


අදහස් (0)

එංගලන්තය - නවසීලන්තය අතුරේ යාමට සැරසෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.