(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ‘මේජර් ලීග්’ අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ හයවැනි සතිය නිමාවට පත්වන විට යළිත් ‘බී’ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට ලකුණු 54.165 ක් ලබා සිටින මුවර්ස් ක්‍රීඩා සමාජය සමත්ව සිටියි. පොලිස් ක්‍රීඩා සමාජය ලකුණු 65.305 ක් ලබා තවදුරටත් ‘ඒ’ කාණ්ඩයේ පෙරමුණේ පසුවේ.
හයවැනි සතියේදී කුරුණෑගල යොවුන් කණ්ඩායමට එරෙහිව පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමත් සමග මුවර්ස් කණ්ඩායම ‘බී’ කාණ්ඩයේ පෙරමුණට පැමිණි අතර ඔවුන්ගේ ඉහළ නැගීමත් සමග එතෙක් ‘බී’ කාණ්ඩයේ පෙරමුණේ පසුවූ එන්.සී.සී. කණ්ඩායමට පියවරක් පසුබැසීමට සිදුවිය. හයවැනි සතියේදී ද්‍රවිඩ සංගම් කණ්ඩායම හමුවේ පළමු ඉනිමේ පරාජයක් ලැබූ එන්.සී.සී. කණ්ඩායම මේ වන විට ලකුණු 51.155 ක් ලබා ‘බී’ කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ පසුවේ.
හයවැනි සතියේදී බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායම හමුවේ පරාජයට පත්වුවද, පොලිස් කණ්ඩායම තවදුරටත් ‘ඒ’ කාණ්ඩයේ පෙරමුණ රැකගැනීමට සමත්ව සිටින්නේ ලකුණු 65.305 කට හිමිකම් කියමිනි. පානදුර කණ්ඩායමට එරෙහිව මුල් ඉනිමේ ජයක් ලැබූ සී.සී.සී. කණ්ඩායම මේ වන විට ලකුණු 54.63 ක් ලබා ‘ඒ’ කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ රැදී සිටියි.
මේ වන විට තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වීමට ඒස් කැපිටල් කණ්ඩායමේ පවන්ත වීරසිංහ සමත්ව සිටින අතර ඔහු ඉනිම් 9 ක් ක්‍රීඩා කරමින් ශතක 2 ක් සහ අර්ධ ශතක 3 ක් සමග රැස්කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 468 කි. පොලිස් කණ්ඩායමේ නායක අෂේන් බණ්ඩාර ඉනිම් 8 කදී ද්විත්ව ශතකයක්, ශතකයක් සහ අර්ධ ශතකයක් සමග ලකුණු 447 ක්ද, ද්‍රවිඩ සංගම් කණ්ඩායමේ ශාරුජන් ශන්මුගනාදන් ඉනිම් 9 කදී ශතක 2 ක් සහ අර්ධ ශතක 2 ක් සමග ලකුණු 444 ක්ද රැස්කරමින් එම ලැයිස්තුවේ දෙවැනි සහ තෙවැනි ස්ථානවල පසුවෙති.
පොලිස් කණ්ඩායමේ දිලුම් සුදීර ඉනිම් 10 කදී කඩුලු 34 ක් බිඳහෙළමින් මේ වන විට තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත්ව සිටියි. ඊට කඩුලු 5 බැගින් දවාගත් අවස්ථා 3 ක්ද ඇතුළත් වේ. කුරුණෑගල යොවුන් කණ්ඩායමේ චාමිකර එදිරිසිංහ ඉනිම් 10 කදී කඩුලු 5 බැගින් දවාගත් අවස්ථා 2 ක් සමග කඩුලු 29 ක්ද, ඒස් කැපිටල් කණ්ඩායමේ වනුජ සහන් ඉනිම් 8 කදී කඩුලු 5 බැගින් දවාගත් අවස්ථා 2 ක් සමග කඩුලු 27 ක්ද දවාගනිමින් වැඩිම කඩුලු ලාභීන් අතර දෙවැනි සහ තෙවැනි ස්ථානවල රැදී සිටිති.
තරගාවලියේ හත්වැනි සතිය එළබෙන සිකුරාදා (16 වැනිදා) ආරම්භ වන අතර එහිදී හලාවත මේරියන්ස් පිලට එරෙහිව බ්ලූම්ෆීල්ඩ් පිල ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීත්, කෝල්ට්ස් පිලට එරෙහිව පානදුර පිල සී.සී.සී. ක්‍රීඩාංගණයේදීත්, පොලිස් කණ්ඩායමට එරෙහිව සී.සී.සී. කණ්ඩායම එන්.සී.සී. ක්‍රීඩාංගණයේදීත්, බදුරලිය පිලට එරෙහිව මුවර්ස් පිල කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදීත්, බී.ආර්.සී. පිලට එරෙහිව එන්.සී.සී. පිල මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදීත්, ද්‍රවිඩ සංගම් පිලට එරෙහිව ඒස් කැපිටල් රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදීත් තරග වදියි.

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.