Last Update  :  2025-05-01 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මිනුවන්ගොඩ නාලන්දා ආදි සිසු ක්‍රිකට් ශූරතාව 2011 කණ්ඩායමට

මිනුවන්ගොඩ නාලන්දා ආදි සිසු ක්‍රිකට් ශූරතාව 2011 කණ්ඩායමට

editorial - 2025 අප්‍රේ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මිනුවන්ගොඩ නාලන්දා (පිරිමි) මධ්‍ය විද්‍යලයීය ආදි ශිෂ්‍ය සංගමය විසින් 9 වැනි වරටත් සංවිධානය කරනු ලැබූ අන්තර් අනු කණ්ඩායම් දිවා-රාත්‍රී සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගනිමින් පිට පිටම දෙවැනි වරටත් ‘මේජර් අතුල කොස්තා’ අනුස්මරණ කුසලාන තමන් සතුකර ගැනීමට 2011 අනු කණ්ඩායම් සමත් විය. 

මීට වසර 2 කට පෙර එනම් 2023 වසරේදී මෙම තරගාවලියේ අනු ශූරයන් බවට පත්වූ 2011 අනු කණ්ඩායම, ඉකුත් වසරේදී (2024) මන්දාලෝක තත්වය හේතුවෙන් අවසන් මහ තරගය අතරමැද නතර කිරීම නිසා 2000 අනු කණ්ඩායම සමග සම ශූරයන් ලෙස එවර තරගාවලිය නිමාවට පත් කළේය. 

දෙවලපොල, වඩුමුල්ල සනීරෝ ක්‍රීඩාංගණයේදී ඉකුත් සෙනසුරාදා (29 වැනිදා) පැවැති මෙවර තරගාවලිය සඳහා අනු කණ්ඩායම් 25 ක් සහභාගි වූ අතර අවසන් පූර්ව වටයේදී 2018 අනු කණ්ඩායම පරාජය කරමින් 2011 අනු කණ්ඩායමත්, 2005 අනු කණ්ඩායම පරාජය කරමින් 2015 අනු කණ්ඩායමත් අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගත්තේය. 

අවසන් මහ තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් 2015 ක්‍රීඩකයන් ඕවර 5 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 23 ක් ලබාගත් අතර ජයග්‍රහණය සඳහා ලකුණු 24 ක ඉලක්කයක් හඹාගිය 2011 ක්‍රීඩකයෝ ඕවර 4.3 ක් අවසානයේ කඩුල්ලක් පමණක් දැවී ඉලක්කය පසුකර ගියහ. එහිදී 2011 අනු කණ්ඩායමේ නායක දමින්ද ශානක එක් ලකුණකට කඩුලු 3 ක් දවාගනිමින් කැපී පෙනුණ දස්කම් දැක්වීය. 

තරගාවලියේ වීරයා ලෙස පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද එකසේ දස්කම් දැක්වූ 2011 අනු කණ්ඩායමේ රවීන් රාජපක්ෂ සම්මාන දිනාගත් අතර දක්ෂතම පිතිකරුවා ලෙස එම කණ්ඩායමේම තිළිණ ප්‍රසාද් සම්මාන දිනාගත්තේය. දක්ෂතම පන්දු යවන්නා ලෙස 2015 කණ්ඩායමේ ඉසුරු ඩිල්ෂාන් සම්මාන ලැබීය. එහිදී ඔවුන් තිදෙනාටම කුසලාන වලට අමතරව මුදල් ත්‍යාග සහ සෙසු ත්‍යාගද පිරිනැමිණ. 

ශූරතාව වෙනුවෙන් 2011 අනු කණ්ඩායමට මේජර් අතුල කොස්තා අනුස්මරණ කුසලාන සමග රුපියල් 30,000 ක මුදල් ත්‍යාගයක් පිරිනැමුණ අතර අනු ශූරතාව වෙනුවෙන් 2015 අනු කණ්ඩායමට ආදි ශිෂ්‍ය සංගම් අභියෝග කුසලාන සමග රුපියල් 20,000 ක මුදල් ත්‍යාගයක් පිරිනැමිණ. ඊට අමතරව කණ්ඩායමේ දෙකේ සියලුම සාමාජිකයන්ට සමරු කුසලාන පිරිනැමීමටද සංවිධායක මණ්ඩලය කටයුතු කළේය. 

තරගාවලියට සහභාගි වූවන්ගේ ආහාර පාන සඳහා 2002 අනු කණ්ඩායම අනුග්‍රහය ලබාදුන් අතර විදුහලේ කීර්තිමත් ආදි ශිෂ්‍ය වෛද්‍ය තරංග චන්දිමාල් ජයසිංහ මහතා පන්දු සඳහා අනුග්‍රහය දැක්වීය. කුසලාන සඳහා දිවංගත මේජර් අතුල කොස්තා මහතාගේ සොහොයුරු ජීවක කොස්තා මහතාද, විනිසුරුවන් සඳහා විදුහලේ ආදි ශිෂ්‍ය නායක සංගමයද අනුග්‍රහය ලබාදුන්නේය. 

තරගාවලියේ බීම අනුග්‍රාහකයා ලෙස වොයිස් ඔෆ් නාලන්දා සංගමයත්, ඡායාරූප අනුග්‍රාහකයා ලෙස 2011 අනු කණ්ඩායමත්, ඩී.ජේ. සංගීත අනුග්‍රාහකයා ලෙස 2013 අනු කණ්ඩායමත් කටයුතු කළේය. සෙසු ත්‍යාග සඳහා විදුහලේ කීර්තිමත් ආදි ශිෂ්‍යයන් වන ප්‍රීමා සමාගමේ මානව සම්පත් සේවා හා ආයතන සම්බන්ධතා කලමණාකරු දිනේෂ් විමලචන්ද්‍ර මහතා සහ වෙළෙඳ ව්‍යාපාරික අර්ජුන ලංකාචන්ද්‍ර මහතා අනුග්‍රහය දැක්වූහ. 

තරගවලියේ ප්‍රචාරක අනුග්‍රහය දරනු ලැබුවේ දිනේෂ් සේයා ආයතනය විසිනි. 

- 036


අදහස් (0)

මිනුවන්ගොඩ නාලන්දා ආදි සිසු ක්‍රිකට් ශූරතාව 2011 කණ්ඩායමට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.