Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මැතිව්ස්ට පන්දු යැවීම බර වැඩියි - මුරලි

මැතිව්ස්ට පන්දු යැවීම බර වැඩියි - මුරලි

දිලිනි මල්රුක්ෂි - 2015 මාර් මස 09 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ශී‍්‍ර ලංකා පන්දු යවන්නන් හමුවේ මහා කන්දක් තරමට ලකුණු ගොඩගසා ගැනීමට ප‍්‍රතිවාදීන් සමත් වූවත් ශී‍්‍ර ලංකා කණ්ඩායමේ පිතිකරුවන් විසින් පෙන්නුම් කරනු ලබන ආත්ම ධෛර්යය සහ විශිෂ්ටත්වය නිසා ප‍්‍රතිවාදීන්ට තවමත් නිදහසේ හුස්මක් ගැනීමේ ඉඩක් නැත.

ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව පැවැති තරගය ලකුණු 64 කින් පරාජය වීමෙන් පසුවත් මෙවන් කතාවක් ලිවීම ගැන ඇතැම් දෙනා වපර ඇසින් බැලීමටත් පුළුවන. තරගය පරාජය වූවත්, මට නම් ශී‍්‍ර ලංකා කණ්ඩායම දෙස තවමත් සුබවාදී ලෙසින් බලන්නට කරුණු එමට තිබේ. මෙම තරගයේදීත් 40 වැනි  ඕවරය දක්වාම,  ඕස්ටේ‍්‍රලියානුවන්ගේ නළලත රැළි රැඳවීමට ඇන්ජලෝ මැතිව්ස් සහ පිරිවර සමත් වූහ.

කුමාර් සංගක්කාර නම් කී‍්‍රඩකයා සමගින් මේ වන විට ලෝකයේ අංක එකේ එක්දින පිතිකරුවාට අයිතිවාසිකම් කියන්නටත් ශී‍්‍ර ලංකා කණ්ඩායමට වාසනාව ලැබී තිබේ.

විරාට් කෝලි, ඒ. බි. ඩිවිලියර්ස් හෝ ග්ලෙන් මැක්ස්වෙල් ආදී මේ  ඕනෑම කෙනෙක් ගැන  ඕනෑම අයකුට බොහෝ වර්ණනා තිබිය හැකිය.

ඒ ඔවුන් තිදෙනාම මෙම ලෝක කුසලාන තරගාවලියේදී ඉතාමත් හොඳින් කී‍්‍රඩා කර ඇති බැවිනි. එත් අනෙක් සියලූම කණ්ඩායම් බියවද්දන කී‍්‍රඩකයා නම් ’සංගා’ම මිස අනෙකකු නොවේ.

ලෝක කුසලාන තරගාවලියකදී පිට පිටම ශතක තුනක් ලබාගැනීම වරෙක අදහාගැනීමටත් නොහැක. එහිඇති අරුම පුදුම විශිෂ්ටත්වය වන්නේ පන්දුවකින් ලබාගන්නා ලකුණු සංඛ්‍යාව එකකට වැඩියෙන් රඳවාගන්නා අතරේම සංගා කිසිදු අවදානමකින් තොරව එය කිරීමයි.

‘සංගා’ ඔහුගේ කී‍්‍රඩාවේ මුල - මැද - අග තුනම දනී. තමන්ගේ අවසන් ලෝක කුසලාන තරගාවලියේදී ‘සංගා’ නම් කිසියම් අරමුණක් කරා යන බවක් පෙනෙන්නට තිබේ. සෑම මොහොතකම තමන් පරිපූර්ණ කී‍්‍රඩකයකු බව සංගක්කාර මොනවට ප‍්‍රදර්ශනය කරමින් සිටී.

කණ්ඩායමේ ඉදිරි පෙළ කී‍්‍රඩකයන් ලකුණු අතර සිටිමින් සංගක්කාරට සහයෝගය දීමනම් මේ තරගාවලියේ වෙනත් කණ්ඩායම් වල පන්දු යවන්නන්ට හොඳ ආරංචියක් නොවේ. එය ඔවුන්ගේ හිසඇම්ම වැඩිකරවන්නකි.

කෙසේ වෙතත්  ඕස්ටේ‍්‍රලියානුවන් හා පැවැති තරගයේ අඳුරු පැතිකඩ වූයේ මේ තරගාවලිය පුරාම ශී‍්‍ර ලංකා කණ්ඩායමට පැවැති බරපතළම ගැටළු දෙකකි. එකක් දුර්වල පන්දු යැවීමයි. අනෙක කී‍්‍රඩකයන් දිගින් දිගටම තුවාල ලැබීමයි.  

පන්දු යවන්නන්ගේ ප‍්‍රශ්නය නම් බොහෝ පැහැදිළිව දැකගත හැකි එකකි. එනම් ලසිත් මාලිංග හැර වෙනත් ඒ මට්ටමේ කිසිදු පන්දු යවන්නකු ශී‍්‍ර ලංකා පිලට නොසිටීමයි. මාලිංග ක‍්‍රම ක‍්‍රමයෙන් තමන්ගේ සුපුරුදු දක්‍ෂතා අතරට පිවිසෙමින් සිටින නමුත් රංගන හේරත් තුවාල ලැබීම තත්ත්වය වඩාත් බරපතළ කරවන්නකි.

තත්ත්වය මෙසේ තිබියදීත් තවත් විශේෂඥ පන්දු යවන්නකු කණ්ඩායමට ඇතුළත් කිරීම අනිවාර්යයෙන්ම කළ යුතුව තිබුණත් එවන්නක් පිළිබඳ ඉල්ලීම් බීරි අලින්ට වීනා ගැයීම වැනි විය. පිතිකරුවන් කොයිතරම් හොඳින් කී‍්‍රඩා කළත්, සෑම අවස්ථාවකදීම ලකුණු 300 කට එහායින් තිබෙන ඉලක්කයක් කරා යන්න යයි කීම පිතිකරුවන්ගෙන් පමණට වඩා ඉල්ලා සිටීමකි.

කණ්ඩායමට එක්වූදා පටන්ම සීක්කුගෙන් වැඩිපුර යමක් බලාපොරොත්තු වූ නමුත් තමන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව වෙනස් කරගත්තායින් පසුව සචිත‍්‍ර සේනානායක නම් කලින් හිටි පන්දු යවන්නා නොවේ. ඔහුගෙන් පිතිකරුවන්ට තිබුණ තර්ජනය එන්න එන්නම නැතිවේගන යයි.

පන්දු යවන්නන්ගේ දක්‍ෂතා හීන වෙමින් යන කල්හි ඇන්ජලෝ මැතිව්ස්ටත් ඉදිරිපෙළ පන්දු යවන්නකු වීමට සිදුවී තිබේ. ඒත් මා කී‍්‍රඩා කරන සමයේදී නම් අපි ඇන්ජලෝගෙන් එවැන්නක් බලාපොරොත්තු නොවූයෙමු. ඔහුගේ ආබාධ පිළිබඳ අතීතය දන්නා අප හිතුවේ සෑම තරගයකදීම ඇන්ජලෝට  ඕවර 10 ක් පන්දු යවන්න යයි කීම ඔහුගේ කි‍්‍රකට් ජීවිතය අතරමගදී කඩා වැටීමට හේතුවක් විය හැකි බවයි. ඒ නිසා අප ඔහුගෙන් යවාගත්තේ  ඕවර 5 ක් 6 ක් පමණි. එයද අවස්ථානුකූලව යොදාගත්තා මිස දිගින් දිගටම නොවේ. ඉතාම කළාතුරෙකින් ඔහු  ඕවර 10 ක් යවා තිබිණ.

එදා ඇන්ජලෝගේ තත්ත්වය එසේ වුවත් එංගලන්තයට එරෙහිව (වෙලින්ටන් නුවරදී)  ඕවර 10 ක් යැවූ ඇන්ජලෝ  ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව තවත්  ඕවර 7 ක් යැවීය. මේ තත්ත්වය අනුව ඉදිරි තරගවලදී මැතිව්ස්ට පන්දු යැවීමෙන් ඈත්වී සිටීමට සිදුවුවහොත් එය ඉතාමත් බරපතළ තත්ත්වයක් නිර්මාණය කරනු ඇත.

දිනේෂ් චන්දිමාල්ට සිදුවූ ඇබැද්දියට මීටත් වඩා නරක අවස්ථාවක් තිබිය නොහැකිය. එකක් ඔහු ඉතාමත් දක්‍ෂ අන්දමින් කී‍්‍රඩා කරමින් සිටින විටෙක එය සිදුවීමයි. දෙවැන්න තරගාවලියේදී අප පැමිණ සිටින ස්ථානයේදී එවැන්නක් සිදුවීමයි.  ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව චන්දිමාල් කළ පිතිහරඹය ඔහුගේ විශිෂ්ටතම දස්කම් නැවත ප‍්‍රදර්ශනය කිරීමකි. එවැන්නක් අප දැක්කේ මීට වසර දෙකකට පමණ ඉහතදීය.

ඒත් මේ වගේ අවස්ථාවලදී අනුකම්පාවෙන් වැඩක් නැත. අර්ධ අවසන් පූර්ව තරගයට කී‍්‍රඩා කිරීමට චන්දිමාල් 100% ක් ශාරීරිකව සූදානම් නොමැති නම් ඒ වෙනුවට වෙනත් කී‍්‍රඩකයකු ආදේශ කළ යුතුව තිබේ. ඉදිරියේදී හොඳ තත්ත්වයට පත්වනු ඇතැයි සිතමින් කී‍්‍රඩකයන් තරගාවලියේ ඉදිරි කොටසට කැඳවාගෙන යාමේ තේරුමක් නැත.

වසර 2011 ලෝක කුසලාන තරගාවලියේදීත් ශී‍්‍ර ලංකා පිල මෙවන් තත්ත්වයකට මුහුණ දුන් අතර ඇන්ජලෝ මැතිව්ස් තුවාල ලැබීම නිසා කණ්ඩායමේ සමබරතාව නැතිව ගියේය. ඒ නිසා ඉන්දියානුවන්ට එරෙහිව කරමින් සිටි සැලසුම් සියල්ලම අවුල් වී ගියේය. කණ්ඩායම ඒ වැරදීමෙන්වත් පාඩමක් ඉගෙන ගත යුතුය.

මේ ස්කොට්ලන්තයට එරෙහිව පැවැත්වෙන තරගයට සූදානම් වන වෙලාවයි. මතුපිටින් බැලූ කල මෙම තරගයේ වාසිය ශී‍්‍ර ලංකාවටය. ඒක එහෙමම විය යුතුය. ඒත් ස්කොට්ලන්තයට එරෙහිව පැවැත්වෙන තරගය ලබන 18 වැනිදා පැවැත්වීමට නියමිත අර්ධ අවසන් පූර්ව තරගය සඳහා හොඳ සූදානමක් කරගැනීමට ශී‍්‍ර ලංකා පිලට අවස්ථාවක් තිබේ.

දැනට පෙනෙන්නට තියෙන හැටියට, ශී‍්‍ර ලංකා පිල ‘ඒ’ කාණ්ඩයේ තුන්වැනි ස්ථානය ලබාගතහොත්, අර්ධ අවසන් පූර්ව වටයේදී ශී‍්‍ර ලංකා පිලට මුහුණ දීමට සිදුවන්නේ දකුණු අපි‍්‍රකානු කණ්ඩායමට එරෙහිවය.

ස්කොට්ලන්තයට එරෙහි තරගය අපේ පන්දු යවන්නන්ට හොඳ අවස්ථාවකි. තමන්ගේ රිද්මය සහ නියමිත ස්ථානයේ පන්දුව පතිත කිරීමට නැවත හුරුවක් ලබාගැනීමට ශී‍්‍ර ලංකා පන්දු යවන්නන්ට එය හොඳ අවස්ථාවකි. එමෙන්ම ශී‍්‍ර ලංකා පිලට උවමනා කරන්නේ කවර ආකාරයේ සංයුතියක්ද යන්න වටහාගැනීමටත් මෙය හොඳ අවස්ථාවකි. මගේ මතය අනුව නම් එය විශේෂඥ පිතිකරුවන් (මැතිව්ස්ද ඇතුළුව) 6 දෙනකුගෙන්, තුන් ඉරියව් කී‍්‍රඩකයකුගෙන් සහ විශේෂඥ පන්දු යවන්නන් සිවු දෙනකුගෙන් සමන්විත විය යුතුය.

මැතිව්ස් (ඔහුගේ ශාරිරික යෝග්‍යතාව මනා ලෙස පවතී නම්), තිසර පෙරේරා සහ ඩිල්ෂාන්ට අමතරව ශී‍්‍ර ලංකා පිලට නියම පන්දු යවන්නන් පිරිසක්  ඕනෑ කරන්නේ අර්ධ අවසන් පූර්ව වටයේදී ඔවුන් ලක්විය හැකි පීඩනයට මුහුණ දීමටය. එය දකුණු අපි‍්‍රකානු පිලට එරෙහිව නම් මෙය ඉතාමත් අසීරු තත්ත්වයකි.

ඒ.බී.ගේ කණ්ඩායම වනන්නට පටන්ගත් කල්හි ඔවුන්ට ලෝකයේ කොයි කණ්ඩායමත් එකය. එහෙත් බුරුළක් පෙන්වන අවස්ථාවකදී දකුණු අපි‍්‍රකානුවන් පරාජය කිරීමත් නොකළ හැකි දෙයක් නොවේ. ඉන්දියාව මෙන්ම පාකිස්තානයද ඒ බව කර පෙන්වූහ.

අනෙක් අතට ලෝක කුසලාන තරගාවලියේ ඉතිහාසය දකුණු අපි‍්‍රකානුවන්ට මහා බරකි. කිසිදා ලෝක කුසලානයක් දිනාගෙන නැති වීමේ පීඩනය එයයි. එහෙත් ශී‍්‍ර ලංකා පිලට එවන් පීඩනයක් නැත. 1996 දීත් පසුගිය වසරේ විස්සයි:20 ලෝක කුසලාන තරගාවලියේදීත් ශී‍්‍ර ලංකාව ශුරතා දිනාගෙන තිබේ.

ශී‍්‍ර ලංකා පිලට මෙන්ම දකුණු අපි‍්‍රකානුවන්ටද ඔවුන්ගේ පස්වැනි පන්දු යවන්නා පිළිබඳ ගැටළුවක් තිබේ. එබැවින් ශී‍්‍ර ලංකා පිතිකරුවන් දැනට සිටින තත්ත්වය අනුව දකුණු අපි‍්‍රකානුවන්ගේ ප‍්‍රශ්නය ඉතා පහසුවෙන් තමන්ගේ වාසියට හරවා ගත හැකිය. කෙසේ වෙතත් අර්ධ අවසන් පූර්ව තරගය සඳහා ශී‍්‍ර ලංකා පිලට නැවතත් සිඞ්නි පිටියට යාමට ලැබීම නම් ඉතා හොඳය. එදා සිඞ්නි පිටියේදී මැතිව්ස් ප‍්‍රමුඛ ශී‍්‍ර ලංකා කණ්ඩායමට තිබුණේ පුදුමාකාර සහයෝගයකි.

අර්ධ අවසන් පුර්ව තරගය සඳහා මා නම් බලාපොරොත්තු වන්නේ අලූත්ම තණතීරුවකි.  ඕස්ටේ‍්‍රලියානු පිලට එරෙහිව පැවැති තරගයේදී යොදාගත් තණතීරුව වැනි කලින් භාවිතා කරන ලද තණතීරුවක් අර්ධ අවසන් පූර්ව තරගයේදී බලාපොරොත්තු විය නොහැකිය.

තත්ත්වය එසේ වුවහොත් එය තරමක් අවාසිදායක විය හැකිය. අලූත් තණතීරුවක් දකුණු අපි‍්‍රකානුවන්ට නම් හොඳය. මක්නිසාද යත් තරමක් පරණ වූ, මන්දගාමී, දග කැවෙනසුළු තණතීරු මතදී දකුණු අපි‍්‍රකානුවන් අමාරුවේ වැටෙන හෙයිනි.

අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ නිල වෙබ් අඩවිය ඇසුරිනි
පරිවර්තනය : දමින්ද විජේසූරිය


අදහස් (1)

මැතිව්ස්ට පන්දු යැවීම බර වැඩියි - මුරලි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.