Last Update  :  2024-04-27 18:06:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket නිස්සංක - අසලංක අලංකාර ජයක් ගෙනෙති
2 වැනි එක්දින තරගය

නිස්සංක - අසලංක අලංකාර ජයක් ගෙනෙති

editorial - 2024 මාර් මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වසර 27 ක් පුරා සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පැවැති හොඳම එක්දින සම්බන්ධතාවේ වාර්තාව බිඳ දැමූ පැතුම් නිස්සංක (114) සහ චරිත් අසලංක (91) දෙදෙනා චිත්තාකර්ශනීය පිතිහරඹයක නිරත වෙමින්, බංග්ලාදේශයේ චැටෝග්‍රෑම් නුවරදී අද (15 වැනිදා) පැවැති දෙවැනි එක්දින අන්තර්ජාතික තරගයේදී කඩුලු 3 ක තියුණු ජයක් කරා ශ්‍රී ලංකා කණ්ඩායම කැඳවාගෙන ගියහ. 

පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත ඕවර 50 දී කඩුලු 7 ක් දැවී ලකුණු 286 ක් ලබාගත්තේය. ශ්‍රී ලංකා පිතිකරුවෝ පන්දු 17 ක් ඉතිරිව තිබියදී කඩුලු 7 කට ලකුණු 287 ක් ලබාගනිමින් තරගය ජයගත්හ. මෙම ජයත් සමගින් තරග 3 කින් සමන්විත තරගාවලිය 1-1 ක් ලෙසින් සමකළ ශ්‍රී ලාංකිකයෝ මෙම වසරේදී සීමිත ඕවර තරගාවලියකින් අපරාජිතව සිටීමේ වාර්තාව තවත් දින කිහිපයකට ආරක්‍ෂා කරගත්හ.

ශ්‍රී ලංකා  - බංග්ලාදේශ එක්දින තරගාවලියේ තුන්වැනි සහ අවසන් තරගය ලබන සඳුදා (18 වැනිදා) චැටෝග්‍රෑම් නුවරදීම පැවැත්වෙන අතර එය සම්පූර්ණයෙන්ම දිවා තරගයකි. 

පැතුම් නිස්සංක සහ චරිත් අසලංක දෙදෙනා අද දිනයේදී සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ ලකුණු 185 ක සම්බන්ධතාව ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් ඉතිහාසයේ නව වාර්තාවකි. වසර 1997 පාකිස්තානයේ පැවැති විල්ස් සිව්කොන් තරගාවලියේ තරගයකදී, කොදෙව් පිල හමුවේ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 171 ක අඛණ්ඩ සම්බන්ධතාවක් පැවැත්වූ රොෂාන් මහානාම (නොදැවී 94) සහ අර්ජුන රණතුංග (නොදැවී 87) එහි පැරණි වාර්තාවේ හිමිකරුවෝ වූහ. 

තුන්වැනි කඩුල්ල ලකුණු 43 දී බිඳ වැටීමෙන් පසුව එක්වූ නිස්සංක සහ අසලංක දෙදෙනා, සිව්වැනි කඩුල්ල බිඳ වැටීමට පෙර 228 ක් දක්වා ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව එසවූහ. ශ්‍රී ලංකා කණ්ඩායම 36 වැනි ඕවරය නිමා කළේ කඩුලු 3 කට 223 ක් ලෙසිනි. එහෙත් 37 සහ 38 වැනි ඕවර වලදී නිස්සංක සහ අසලංක දෙදෙනාවම පිටියෙන් ඉවත් කළ මෙහෙදි හසන් මිරාස් සහ ටස්කින් අහමඩ් ප්‍රමුඛ බංග්ලාදේශීයයෝ, ලකුණු 7 ක් ඇතුළත කඩුලු 2 ක් බිඳ දමමින් තරගයේ තාලය වෙනස් කළහ.

පන්දු 113 කට පසුව, දැවී යාමට පෙර චිත්තාකර්ශනීය හතරේ පහර 13 කින් සහ හයේ පහර 3 කින් දකුණත් ආරම්භක පිතිකරුවා තම ඉනිම සැරසීය. දිගු සම්බන්ධතාවක් බිඳී යාමෙන් පසුව වැඩි වේලාවක් නොයවාම අනෙක් පිතිකරුවාත් දැවී යන, ක්‍රිකට් ක්‍රීඩාවේදී බොහෝ විට දක්නට ලැබෙන සිදුවීම යළිත් ගෙනහැර පාමින්, ශතකයට අත පොවන මානයේ සිටි චරිත් අසලංක ඊළඟ ඕවරයේ දැවී ගියේය. වමත් පිතිකරුවාගේ පන්දු 93 ඉනිම හතරේ පහර 6 කින් සහ හයේ පහර 4 කින් අලංකෘත විය. 

බංග්ලාදේශ පන්දු යවන්නෝ එතැන් සිට සිය ග්‍රහණය දැඩි කළහ. එතැනින් ඔබ්බට යැවුණු ඕවර 5 දීම ශ්‍රී ලංකා පිතිකරුවන්ට ලබාගත හැකිවූයේ ලකුණු 22 කි. මේ වනවිට ලකුණු 25 ක් තරම මෑතින් ජයග්‍රහණය පෙනෙන්නට තිබුණු බැවින්, අවදානම් පහර කරා නොයා, හීන්සීරුවේම  ඉලක්කය කරා යාම වනිඳු හසරංගගේ මෙන්ම දුනිත් වෙල්ලාලගේගේත් අරමුණ විය. තම වෘත්තීමය අත්දැකීම් මනාව ප්‍රයෝජනයට ගත් වනිඳු හසරංග ටැන්සිම් හසන් සකීබ්ට සහ තයිජුල් ඉස්ලාම් දෙදෙනාට හයේ පහර දෙකකින් සංග්‍රහ කළේ අවසන් මොහොතේදී ගෙල සිර කිරීමට අවස්ථාව ඉතිරි නොකරමිනි. හසරංග පසුව දැවී ගියත්, ඒ වන විට ශ්‍රී ලංකාවේ ජයග්‍රහණයට අවශ්‍යව තිබුණේ ලකුණු 02 කි. 

ටව්හීද් රිදෝයි (නොදැවී 96) සහ ටස්කින් අහමඩ් (නොදැවී 18) දෙදෙනා අවසන් ඕවර 3 දී කළ ප්‍රහාරාත්මක පිතිහරඹය නිසා පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත ඕවර 50 දී කඩුලු 7 ක් දැවී ලකුණු 286 ක් ලබාගත්තේය. මෙම පිතිකරුවන් දෙදෙනා අවසන් ඕවර 3 න් උදුරාගත් ලකුණු සංඛ්‍යාව 44 කි.

ඉනිමේ 46 වැනි ඕවරය නිමාවේදී ලකුණු සංඛ්‍යාව වූයේ කඩුලු 6 කට 236 ක් විය. 47 වැනි ඕවරයේදී ටැන්සිබ් හසන් සකීබ් දැවී ගිය පසුව පැමිණි ටස්කන් අහමඩ් සහ රිදෝයි දෙදෙනා එක්ව අවසන් ඕවර හතරේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට රිදෙන්නම තැලූහ. අවසන් ඕවර 4 දී බංග්ලාදේශ පිතිකරුවන් දෙදෙනාගේ ලකුණු ලබාගැනීම් සටහන් වූයේ 6, 12, 17 සහ 15 ක් ලෙසිනි. ළහිරු කුමාර යැවූ ඉනිමේ අවසන් පන්දු දෙකටම හයේ පහර දෙකක් ගැසූ ටව්හීද් රිදෝයි තම හොඳම එක්දින ඉනිම වාර්තා කළේ පන්දු 102 කින් ලබාගත් ලකුණු 96 ට හතරේ පහර 3 ක් සහ හයේ පහර 5 ක් ඇතුළත් කරමිනි. 

පළමු තරගයේදී මෙන්ම අද තරගයේදීත් පළමු ඕවරයේදීම ඩිල්ෂාන් මධුශංක විසින් ලිටන් දාස් පිටියෙන් ඉවත් කරගන්නා ලදි. පළපුරුදු ආරම්භක පිතිකරුවා තරග දෙකේදීම ලකුණු නොලබාම දැවී ගියත්, සෞම්‍ය සාර්කර් (68) සහ නායක නජ්මුල් හොසේන් ශන්ටෝ (40) ඕවර 12 කදී මුලු ලකුණු සංඛ්‍යාව 75 ක් දක්වා ඉහළ දැමූහ. මධුශංක සාර්ථක පන්දු යැවීමක නිරත වූ නමුත් ප්‍රමෝද් මධුෂාන් දිගින් දිගටම ප්‍රහාරයට ලක්විය. 

ප්‍රමෝද් මධුෂාන්ගේ පළමු ඕවර 3 න් බංග්ලාදේශීන් ලබාගත් ලකුණු සංඛ්‍යාවන් සටහන් වූයේ 11ක්, 9ක් සහ 12ක් ලෙසිනි. කෙසේ හෝ 22 වැනි ඕවරයේදී හසරංග හමුවේ ගැසූ ස්වීප් පහරකින් ඉහළ ගිය උඩපන්දුව ඩීප් ස්ක්වෙයාර් ලෙග්හි සිටි ඩිල්ෂාන් මධුශංක විසින් විශිෂ්ට ආකාරයෙන් රැකගන්නා ලදි. එක පන්දුවක විරාමයකින් පසුව මහමදුල්ලාත් ලකුණු නොලබා දැවී ගියෙන් කඩුලු 2 කට 130 ක් ව තිබූ බංග්ලාදේශ ලකුණු පුවරුව පන්දු 3 කට පසුව 130 ට කඩුලු 4 ක් ලෙසින් වෙනස් විය. 

එය කඩුලු දෙකක් බිඳ වැටුණු, නිලකුණු ඕවරයකි. බංග්ලාදේශීන්ට මඟ වැරදුණේ එතැනිනි. එතැන් සිට 40 වැනි ඕවරය දක්වා යැවුණු පන්දු 108 කින් බංග්ලාදේශ පිතිකරුවන්ට රැස්කරගත හැකිවූයේ ලකුණු 76 කි. මෙම පන්දු 108 යැවුණු කාලය ඇතුළත පන්දුව හතරේ සීමාව පසුකර ගියේ 5 වතාවක් පමණි. මෙම තත්ත්වය 46 වැනි ඕවරය දක්වාත් පැවති නමුත් වනිඳු හසරංගගේ අවසන් ඕවරයෙන් ලකුණු 12 ක් උදුරාගැනීමෙන් පසුව සිදුවීම් දාමය වෙනස් විය. 

තරගය පුරාම සාර්ථක පන්දු යැවීමක නිරත වූ ඩිල්ෂාන් මධුශංක ඕවර 6.4 ක් යැවීමෙන් පසුව පැත්තකට විය. 

ඡායාරූප - ඒ.එෆ්.පී.
 
- 213

අදහස් (0)

නිස්සංක - අසලංක අලංකාර ජයක් ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.