Last Update  :  2024-04-27 19:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket නවසීලන්තයේ - දකුණු අප්‍රිකාවේ අපලය දුරුවෙයිද?
ලෝක කුසලාන ක්‍රිකට් - 2023

නවසීලන්තයේ - දකුණු අප්‍රිකාවේ අපලය දුරුවෙයිද?

editorial - 2023 නොවැ මස 13 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

(ශානුක අරවින්ද මුම්බායි නුවර සිට..)

එක්දින ක්‍රිකට් පිටියේ කෙතරම් සාර්ථක කණ්ඩායම් දෙකක් වුවත්, ලෝක කුසලාන තරගවලීන්හිදී ඉතා අවාසනාවන්ත කණ්ඩායම් දෙකක් ලෙස නවසීලන්තයත්, දකුණු අප්‍රිකාවත් හැඳින්විය හැකිය. ඊට හේතුව ලෝක කුසලාන තරගාවලින්හිදී කෙතරම් හොඳින් ක්‍රීඩා කළද, මේ වන තෙක් එක්දින ලෝක කුසලානයක පහස විඳීමට මෙම රටවල් දෙකටම නොහැකි වී තිබීමය.

මෙම කණ්ඩායම් දෙක මෙවර ලෝක කුසලාන තරගාවලියේද අවසන් පූර්ව වටයට දක්වා පැමිණ සිටින අතර පිළිවෙලින් ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව එහිදී ඔවුන්ගේ ප්‍රතිවාදීන් බවට පත්ව සිටියි. ඉන් නවසීලන්තය සහ ඉන්දියාව අතර පළමු අවසන් පූර්ව තරගය බදාදා (15 වැනිදා) මුම්බායිහිදීද, දකුණු අප්‍රිකාව සහ ඕස‍්ට්‍රේලියාව අතර දෙවැනි අවසන් පූර්ව තරගය බ්‍රහස්පතින්දා (16 වැනිදා) කොල්කටාහිදීද පැවැත්වීමට නියමිතය.

මෙතෙක් පැවැති එක්දින ලෝක කුසලාන තරගාවලි 12 න් 6 කම අවසන් පූර්ව වටය දක්වා පැමිණි  නවසීලන්තයට (1975, 1979, 1992, 1999, 2007 සහ 2011) එහිදී පරාජය වීම හේතුවෙන් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට නොහැකි විය. දකුණු අප්‍රිකාවද තරගාවලි 4 කදී (1992, 1999, 2007 සහ 2015) අවසන් පූර්ව වටය දක්වා පැමිණි නමුත් එහිදී පරාජය වීම හේතුවෙන් ඔවුන්‍ටද අවසන් මහ තරගයට පිවිසීමට නොහැකි විය.

කෙසේ වුවත් අවසන් වරට පැවැති ‍එක්දින ලෝක කුසලාන තරගාවලි දෙකේදීම (2015 සහ 2019) අවසන් පූර්ව වටය ජයගනිමින් අවසන් මහ තරගයට පිවිසීමට නවසීලන්තය සමත් වුවද, එහිදී පිළිවෙලින් ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය හමුවේ පරාජය වීම හේතුවෙන් ඔවුන්ට අනු ශූරතාවෙන් සෑහීමකට පත්වීමට සිදුවිය. ඉන් 2019 වසරේ පැවැති තරගාවලියේ අවසන් මහ තරගය මෙන්ම සුපිරි ඕවරයද ලකුණු සම වීමෙන් අනතුරුව නවසීලන්තයට ශූරතාව අහිමි වූයේ හයේ සහ හතරේ පහර සංඛ්‍යාවේ එකතුව අනුවය.

2015 වසරේ පැවැති ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයේදී මෙම කණ්ඩායම් දෙක මුහුණට මුහුණ හමුවූ අතර එය එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ නවසීලන්තයට සහ දකුණු අප්‍රිකාව අතර පැවැති පළමු මෙන්ම එකම අවසන් පූර්ව තරගයද විය. එහිදී දකුණු අප්‍රිකාවට එරෙහිව ඩක්වත් ලුවිස් න්‍යායට අනුව කඩුලු 4 ක ජයක් ලැබූ නවසීලන්තය අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය.  

මෙම දත්ත සහ තොරතුරු සලකා බැලීමේදී නවසීලන්තය මෙන්ම දකුණු අප්‍රිකාවද අවස්ථා කිහිපයකදීම ලෝක කුසලාන පෙනෙන මානයටම පැමිණ ඉතා අවාසනාවන්ත ලෙස ආපසු හැරී ගොස් ඇතැයි නිගමනය කළ හැකිය. මෙම වසරේ ඉන්දියාවේ පැවැත්වෙන තරගාවලියේදීද කැපී පෙනෙන දස්කම් දැක්වූ දකුණු අප්‍රිකාව සහ නවසීලන්තය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේ පිළිවෙලින් ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි සහ සිවුවැනි ස්ථානවලට පත්වෙමිනි.

පස්වරක් ලෝක ශුරයන් බවට පත්ව සිටින ඕස්ට්‍රේලියාව සහ දෙවරක් ලෝක ශූරයන් බවට පත්ව සිටින ඉන්දියාව, මෙවර අවසන් පූර්ව වටයේදී පරාජය කරමින් දකුණු අප්‍රිකාවට සහ නවසීලන්තයට ‍අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට හැකි වනු ඇත්දැයි ක්‍රීඩා ලෝලීහු මේ වන විට ඉතා නොඉවසිල්ලෙන් බලා සිටිති. මෙවර මූලික වටය යටතේ පැවැති තරගවලදී ඕස්ට්‍රේලියාව පරාජය කිරීමට දකුණු අප්‍රිකාව සමත් වූ නමුත්, ඉන්දියාව හමුවේ නවසීලන්තය පරාජයට පත් විය.


අදහස් (2)

නවසීලන්තයේ - දකුණු අප්‍රිකාවේ අපලය දුරුවෙයිද?
  • Ran Tuesday, 14 November 2023 07:44 AM

    ඉන්දියාව කප් එක උස්සයි. ඉන්දියාව වෙනත් රටවලදී පරාදයි... ඉන්දියාව මොන දහම් ගැටයක් හරි දාලා ගනියි. මම කැමැතියි දකුණු අප්‍රිකාව හෝ නවසීලන්තය හරි දිනනවා නම්...!

    Reply 0       0

    RANDIL Tuesday, 14 November 2023 03:52 PM

    මෙදා පාර නම් ඉන්දියාව තමයි කප් එක ගන්නේ...!

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.