Last Update  :  2024-04-28 18:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දකුණු අප්‍රිකාව - ඕස්ට්‍රේලියාව කරට කර සටනක
ලෝක කුසලාන ක්‍රිකට් - 2023

දකුණු අප්‍රිකාව - ඕස්ට්‍රේලියාව කරට කර සටනක

editorial - 2023 නොවැ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)         

පස්වරක් එක්දින ලෝක කුසලාන තමන් සතුකරගෙන සිටින ඕස්ට්‍රෙලියාවට මෙවර තරගාවලි‍යේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව අහිමිකිරීමේ අමුණින් දකුණු අප්‍රිකාව හෙට (16 වැනිදා) කොල්කටා නුවර ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේදී තරග බිමට පිවිසීමට සූදානමින් සිටියි.

එක්දින ලෝක කුසලාන තරග බිමේදී අතිශය ‍ප්‍රබල කණ්ඩායමක් ලෙස හැඳින්විය හැකි ඕස්ට්‍රේලියාව, මේ දක්වා පැවැති ලෝක කුසලාන තරගාවලි 12 න් 5 කම ශූරයන් බවට පත්ව ඇති අතර දෙවරක් අනු ශූරයන් බවට පත්ව ඇත. මෙවර ‍ඔවුන් ලෝක කුසලාන තරගාවලියක අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටින්නේ 9 වරටය.

එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ සිවුවරක් අවසන් පූර්ව වටයෙන්ද, දෙවරක් අර්ධ අවසන් පූර්ව වටයෙන්ද ඉවතට විසිවී ඇති දකුණු අප්‍රිකානුවෝ, මෙවර අවසන් පූර්ව තරගයකට සහභාගි වන්නේ 5 වැනි වරටය. 1999 සහ 2007 වසරවල පැවැති ලෝක කුසලාන තරගාවලීන්හි අවසන් පූර්ව තරගවලදී දකුණු අප්‍රිකාව පරාජයට පත්ව ඇත්තේද ඕස්ට්‍රේලියාව හමුවේය.

මෙවර තරගාවලියේ මූලික වටයේදී සහභාගි වූ තරග 9 න් 7 බැගින් ජයගෙන ලකුණු 14 බැගින් ලැබූ  දකුණු අප්‍රිකාව සහ ඕස්ට්‍රේලියාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේ ශුද්ධ ලකුණු වේගයන් අනුව පිළිවෙලින් ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි සහ තෙවැනි ස්ථාන හිමිකර ගනිමිනි. එහිදී ඕස්ට්‍රේලියානුවෝ ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව හමුවේද, දකුණු අප්‍රිකානුවෝ ඉන්දියාව සහ නෙදර්ලන්තය හමුවේද පරාජයට පත්වූහ.

එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර තරග 109 ක් පැවැත්වී ඇති අතර ඉන් තරග 55 ක ජය දකුණු අප්‍රිකාවටද, 50 ක ජය ඕස්ට්‍රේලියාවටද හිමිව තිබේ. තරග 3 ක් ලකුණු සම වීමෙන් අවසන් වී ඇති අතර එක් තරගයක් විසඳුමකින් තොරව නිමාවට පත්ව ‍තිබේ. කෙසේ වුවත් දෙරට අතර පැවැත්වී ඇති ‍එක්දින ලෝක කුසලාන 7 දී ජයග්‍රහණ 3 බැගින් වාර්තා කිරීමට කණ්ඩායම් දෙක සමත් වී ඇත.

ඒ අනුව මෙවර තරගාවලි‍යේ අවසන් මහ තරගය සුදුසුකම් ලබාගැනීම සඳහා දෙවැනි අවසන් පූර්ව තරගයේදී මෙම කණ්ඩායම් දෙක අතර ඉතා තියුණු සටනක් බලාපොරොත්තු විය හැකිය. එහිදී 8 වැනි වරටත් ලෝක කුසලාන අවසන් මහ තරගයකට සුදුසුකම් ලැබීම වෙනුවෙන් ඕස්ට්‍රේලියාව තරග වදින අතර පළමු වරට එම අත්දැකී‍ම ‍විඳගැනීම වෙනුවෙන් දකුණු අප්‍රිකාව තරග වදිනු ඇත.


අදහස් (0)

දකුණු අප්‍රිකාව - ඕස්ට්‍රේලියාව කරට කර සටනක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.