(රජන්ත බමුණුකොටුව)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අඛණ්ඩව 18 වැනි වරටත් සංවිධානය කරනු ලබන ප්‍රීමා කුසලාන වයස අවුරුදු 15 න් පහළ ක්‍රිකට් තරගාවලිය මේ මස 19 වැනිදා ආරම්භ විය. මේ මස 28 වැනිදා පැවැත්වෙන තරගාවලියට සිලෝන් ඇග්‍රෝ ඉන්ඩස්ට්‍රීස් සමාගමට අයත්, ප්‍රීමා සමූහ ව්‍යාපාරයේ පූර්ණ අනුග්‍රහය හිමිවී තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අංකුර ක්‍රිකට් ක්‍රීඩකයින් ජාතික තලය දක්වා රැගෙන යාමට සකස්කර ඇති “ජාතික ක්‍රිකට් මංපෙත“ වැඩසටහන යටතේ සංවිධානය කෙරෙන මෙම තරගාවලියේදී දස්කම් දක්වන ක්‍රීඩකයන්ට ඉහළ වටිනාකමක් හිමිවෙයි.
පසුගිය වර තරගාවලියේ ශූරයින් වූ කොළඹ දකුණ, අනු ශූරයින් වූ මහනුවර, කොළඹ උතුර, දඹුල්ල සහ ගාල්ල යන සුපිරි පළාත් කණ්ඩායම් 5 නියෝජනය කරමින් දිවයිනේ අවුරුදු 15න්
පහළ වයස් සීමාවේ සිටින දක්ෂ ක්‍රීඩකයින් 80 ක් මෙම තරගාවලියට සහභාගී වනු ඇත.
ඕවර 50 ක්‍රිකට් තරගාවලිය 2025 නොවැම්බර් 19 සිට 28 දක්වා කොළඹ රාජකීය, තර්ස්ටන්, වෙස්ලි, කොළඹ විශ්ව විද්‍යාලය සහ වෙළෙඳ සේවා යන ක්‍රීඩාංගණ පහකදී පැවැත්වේ.
පළමු වටයේදී සෑම කණ්ඩායමකටම තරග 4 ක් බැගින් හිමිවන අතර, පළමු වටයේ ලකුණු සටහන අනුව පෙරමුණ ගන්නා කණ්ඩායම් 4 අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනු ඇත. අවසන් පූර්ව තරග නොවැම්බර් 26 වන දින දක්වා කොළඹ තර්ස්ටන් සහ වෙළෙඳ සේවා ක්‍රීඩාංගණයන්හිදී පැවැත්වීමටත් අවසන් තරගය නොවැම්බර් 28 වන දින කොළඹ තර්ස්ටන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමටත් කටයුතු යොදා ඇත.
මේ වන විට ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයින් අතුරින් වැඩි පිරිසක් තම පාසල් ක්‍රිකට් දිවියේදී ප්‍රීමා වයස අවුරුදු 15 න් පහළ ශ්‍රී ලංකා යූත් ලීගයට ක්‍රීඩා කොට ඇත. මෙම තරගාවලිය තුලින් ජාතික කණ්ඩායමට දක්ෂ ක්‍රීඩකයින් රැසක් බිහිකර තිබෙන අතර ඔවුන් මේ වනවිට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ජාත්‍යන්තර වේදිකාවේ අභිමානවත් අන්දමින් නියෝජනය කිරීමට සමත්ව සිටින ක්‍රීඩකයෝ බවට පත්ව සිටිති.
තරග කාලසටහන
නොවැම්බර් 19
කොළඹ උතුර සහ දඹුල්ල අතර තරගය කොළඹ රාජකීය ක්‍රීඩාංගණයේදී
කොළඹ දකුණ සහ ගාල්ල අතර තරගය කොළඹ විශ්ව විද්‍යාල පිටියේදී
නොවැම්බර් 20
ගාල්ල සහ කොළඹ උතුර අතර තරගය වෙළෙඳ සේවා පිටියේදී
දඹුල්ල සහ මහනුවර අතර තරගය තර්ස්ටන් පිටියේදී
නොවැම්බර් 22
කොළඹ දකුණ සහ මහනුවර අතර තරගය කොළඹ රාජකීය ක්‍රීඩාංගණයේදී
ගාල්ල සහ දඹුල්ල අතර තරගය වෙස්ලි විදුහල් පිටියේදී
නොවැම්බර් 23
දඹුල්ල සහ කොළඹ දකුණ අතර තරගය කොළඹ රාජකීය ක්‍රීඩාංගණයේදී
කොළඹ උතුර සහ මහනුවර අතර තරගය කොළඹ විශ්ව විද්‍යාල පිටියේදී
නොවැම්බර් 25
මහනුවර සහ ගාල්ල අතර තරගය වෙළෙඳ සේවා පිටියේදී
කොළඹ උතුර සහ කොළඹ දකුණ අතර තරගය කොළඹ විශ්ව විද්‍යාල පිටියේදී
නොවැම්බර් 26
පළමු අර්ධ අවසන් පූර්ව තරගය කොළඹ වෙළෙඳ සේවා පිටියේදී
දෙවැනි අර්ධ අවසන් පූර්ව තරගය කොළඹ තර්ස්ටන් පිටියේදී
නොවැම්බර් 28
අවසන් තරගය කොළඹ තර්ස්ටන් පිටියේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.