Last Update  :  2026-03-12 09:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics මුල් පුටුව සුනිල්ටද ? බිමල්ටද ?

මුල් පුටුව සුනිල්ටද ? බිමල්ටද ?

editorial - 2026 මාර් මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ නිලවරණය (2026 - 28) අද (12) පෙරවරු 9.00 සිට කොළඹ රීඩ් මාවත ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. එහිදී මෙවර නිලවරණය දෙකොන් සටනක් බවට පත්ව තිබේ.

මලල ක්‍රීඩා සංගමයේ හිටපු සභාපතිවරයෙකු වන (2001 -02) සුනිල් ගුණවර්ධන මහතා සහ ඕල්කට් ක්‍රීඩා පදනමේ වත්මන් සභාපති බිමල් ප්‍රසන්න විජයසිංහ යන මහත්වරුන් එහිදී එම ප්‍රධාන පාර්ශව දෙකට නායකත්වය දෙමින් සභාපති ධූරය සදහා තරග වදිති.

දිස්ත්‍රික් සංගම් හා ක්‍රීඩා සමාජ 33 ක ඡන්ද 99 ක් (එකකට ඡන්ද තුනක් බැගින්) මෙවර නිලවරණය සදහා නිර්දේශ ලබා සිටියි. ඔවුන් සියළු දෙනාගේම සහභාගිත්වය සිදු වන්නේ නම් ඡන්ද අවම 50 ක් ලබා ගන්නා සභාපති අපේක්ෂකයාට ශ්‍රී ලංකා මලල ක්‍රිඩා ආයතනයේ මුල් පුටුවට පත්වීමේ අවස්ථාව මෙවර හිමිව තිබේ.

මෙවර මලල ක්‍රීඩා නිලවරණය සදහා ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාට සහය පළ කරමින් තවත් අපේක්ෂකයන් දෙදෙනෙක් නාමයෝජනා බාරදී තිබේ.කෙසේවූවත් ඔවුන් ඉහත ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාට සහය පළ කරමින් නාමයෝජනා අද මහ සභාවේදී ඉල්ලා අස් කර ගැනීමට නියමිතව ඇතැයි වාර්තාවේ. ඔවුන් වන්නේ වෙළද සේවා මලල ක්‍රීඩා සංගමයේ වත්මන් සභාපති ප්‍රසන්න ඉන්දික හා පොලිස් ක්‍රීඩා සංගමයේ ලේකම්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුගත් කුමාර ගලගමගේ යන මහත්වරුන්‍ ය.

අද නිලවරණය ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා අතර වඩාත් තියුණු සටනක් බවට පත්ව තිබෙන බව මලල ක්‍රීඩා ආරංචි මාර්ග සදහන් කරයි. එහිදී මනාපය පළ කිරීම රහස් ඡන්දයෙන්ද නැතහොත් ප්‍රකාශිත ඡන්දයෙන්ද යන්න පිළිබදව තීරණය කිරීම අද නිලවරණ සභාවේදී බහුතර කැමැත්තෙන් තීරණය කෙරේ.එයද නිලවරණය වඩාත් උණුසුම් තත්වයක් ඇති කිරීමට හේතුවී තිබේ.

පසුගිය අගෝස්තු 18 වැනිදා මලල ක්‍රීඩා ආයතනයේ නිලවරණය (2025 - 27) පැවැත්වීමට සියළු කටයුතු අවසන් කර තිබියදී හදිසි තීරණයකින් ක්‍රිඩා අමාත්‍යාංශය විසින් එය අත්හිටුවනු  ලැබීය.එහිදී නැවැත මුල සිටම නිලවරණය කැදවීමට නිලවරණ කමිටුව තීරණය කළේය.

පසුගිය අගෝස්තු 25 වැනිදා සිට මෙරට මලල ක්‍රීඩා පරිපාලනය ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයාට පැවරෙන බලතල ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට ක්‍රීඩා ඇමැතිවරයා පියවර ගත්තේය.

මෙවර නිලවරණයේදී ප්‍රධාන ලේකම් ධූරයට මාධව සෙනෙරත් බන්ඩාර (කොළඹ) හා වෛද්‍ය ධම්මික විශ්වජිත් සේනානායක (කෑගල්ල) යන මහත්වරුන් නාමයෝජනා බාරදී තිබේ. රසිකා නීලංගනී (මාතර) හා රුවන් කුමාර හේවගේ (ට්‍රැක් මාස්ටර්ස්) යන මහත්ම මහත්මීන් භාංඩාගාරික ධූරයට තරග වදින්නෝ වෙති.

මේ අතර ක්‍රීඩා පනතේ ජාතික ක්‍රීඩා සංගම් නව රෙගුලාසි වලට අනුව මලල ක්‍රීඩා ආයතනයේ මෙවර නිලවරණය පැවැත්වීමේදී මෙතෙක් එහි ක්‍රියාත්මක වූ හතක්ව පැවැති උප සභාපති ධුර ගණන දෙකකට සීමාවී තිබේ.

මේ අතර උප භාංඩාගාරික ධුරයට හිටපු භාංඩාගාරිකවරයෙකු වන විමල් ශාන්තලාල් ද සිල්වා මහතා නිතරගයෙන් පත්ව සිටියි. විධායක සභික ධූර අටක් සදහා මෙවර ඉදිරිපත්ව තිබෙන නාමයෝජනා ගණන 15 කි.

ඒ අතර ඊයේ (11) වාර්තා වූයේ ගම්පහ දිස්ත්‍රික් මලල ක්‍රීඩා සංගමය නියෝජනය කරමින් අද නිලවරණය සදහා සහභාගි වීමට නිර්දේශ ලබා සිටි නියෝජිතයන් හදිසියේ වෙනස් කිරීමට ගෙන තිබෙන බව කියන උත්සහයක් හේතුවෙන් එහි ගැටුම්කාරී තත්වයක් උද්ගතව තිබූ බවයි.

   


අදහස් (0)

මුල් පුටුව සුනිල්ටද ? බිමල්ටද ?

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.