Last Update  :  2024-03-18 18:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ඉතිහාසය වෙනස් කළ අවසන් මහ තරගය

ඉතිහාසය වෙනස් කළ අවසන් මහ තරගය

editorial - 2019 ඔක් මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 
ලෝක කුසලාන ක්‍රීඩා තරගාවලියක අවසන් තරගය සඳහා සුදුසුකම් ලබන තම රටේ කණ්ඩායමක්, දිරිමත් කිරීම සඳහා රටක තරගයට පෙර රටේ නායකයෙක් කණ්ඩායම මුණගැසී සුබපතා ආශිර්වාද ලබාදීමක් කළ අවස්ථාවක් පිළිබඳ ඔබ අසා ඇත්ද? එවන් දෙයක් සිදුවුණු ප්‍රථම අවස්ථාව වාර්තා වන්නේ 1995 ජූනි 24 වනදා දකුණු අප්‍රිකාවේදීය.

තරගය - නවසීලන්තය හා දකුණු අප්‍රිකාව අතර ලෝක කුසලාන රග්බි අවසන් මහ තරගයයි.

රටේ නායකයා, දකුණු අප්‍රිකාවේ නෙල්සන් මැන්ඩෙලාය. තරගය පැවැත් වුණේ ජොහැන්නස්බර්ග්හි එලිස් උද්‍යාන ක්‍රීඩාපිටියේදීය.

අවසන් තරගය පැවැති දිනයේ දකුණු අප්‍රිකානු නායක ෆ්‍රැන්කොයිස් පීනාර් තම පිලේ අනෙකුත් ක්‍රීඩකයන් සමග පුහුණුවීමේ කටයුතු අවසන් කොට ක්‍රීඩාගාරයේ ක්‍රීඩකයන්ගේ කුටියේ සිටින විට එම ක්‍රීඩාපිටියට පැමිණ දකුණු අප්‍රිකානු පිලට උණුසුම් සුභ පැතුම් පිරිනමා මානසික වශයෙන් මහා හයියක් ලබාදුන්නේ දකුණු අප්‍රිකාවේ වර්ණභේදය අවසන් කොට එම අද්විතීය රට එකම රටක් එකම ජාතියක් බවට පත් කළ නෙල්සන් මැන්ඩෙලාය.

දකුණු අප්‍රිකාව එදා සිට ආගම්, ගෝත්‍ර, කුල, මල, කළු, සුදු බේදවලින් තොර රටක් විය.

තරග වැදෙන දකුණු අප්‍රිකාවේ මානසිකත්වය ඉහළ නැංවීමට මැන්ඩෙලාගේ අනුපමේය සහයෝගයත් ලැබිණ. තම රටේ වර්ණ සහිත කැප් තොප්පියක් ඔහු පැළඳ සිටීමත් අගරදගුරු ඩෙස්මන්ඞ් ටුටූගේ සහාය දකුණු අප්‍රිකාවට හිමිවීමත්, එකම කණ්ඩායමක් එකම රටක් යන තේමාව හා දර්ශනය යටතේ නිකෝෂි ශිකිලෙලේ ජාතික ගීය තරගය නරඹන ප්‍රේක්ෂකයන්ගේ මුවින් අහස් කුසට එක්වීමත් දකුණු අප්‍රිකානුවන්ගේ විශිෂ්ට ජයග්‍රහණයට හේතු වූවාට සැකයක් නොමැත.

අවසන් මහ තරගය ආරම්භ වන්නට පැය බාගයක් තිබිය දී මැන්ඩෙලාට ප්‍රශ්නයක් මතුවිය. එනම් ඔහුට දකුණු අප්‍රිකානු වර්ණ සහිත ජර්සියක් නොතිබීමයි. තම ලේකම්වරිය වන මේරි මැක්ස්ඩානාට කතා කිරීමෙන් පසුව දකුණු අප්‍රිකානු රග්බි නිලදරුවන් මගින් දකුණු අප්‍රිකානු නායක ෆ්‍රැන්කොයිස් පීනාර්ගේ අංක 06 දරන ජර්සිය සහ කැප් තොප්පිය මැන්ඩෙලාට ලැබුණේය.

නවසීලන්තය හෙවත් කළු කමිසකාරයෝ ප්‍රබල රග්බි පිලකි. නායක ෂෝන් ෆ්‍රීට්ස්පැට්රික්, පළපුරුදු ෂින්සෑන් බෲක්, ෆ්‍රෑන්ක් බෲස්, වෝල්ටන් ලිට්ල්, ඉයන් ජෝන්ස් සහ අඩි 6යි අඟල් 4 ක් උසින් යුත්, ස්ටෝන් 18 1/2ක් බරැති 20 හැවිරිදි ප්‍රබල යෝධයා ජෝනාලෝමු නවසීලන්තයේ දක්ෂම ක්‍රීඩකයෝය.

එක්තරා දකුණු අප්‍රිකානු පුවත්පතක් නවසීලන්ත ක්‍රීඩක ජොනා ලෝමු හැඳින් වූයේ “ඔපරාවක” රඟපාන රයිනෝසිරස් කෙනෙකු වශයෙනි.
 
දකුණු අප්‍රිකා පිලේ සැලසුම වූයේ ප්‍රධාන වශයෙන්ම ලෝමුවූ ඔවුනගේ අණසක යටතට ගෙන ඒමය. එම වගකීම පැවරුණේ දකුණු අප්‍රිකානු ක්‍රීඩක ජේම්ස් ස්මෝල් වෙතය.

ජුනි 24 වැනිදා පස්වරු 2.00 ත් 3.00 ත් අතර කාලය අතර දී නෙල්සන් මෙන්ඩෙලා, ජොහැන්නස්බර්ග් එලීස් උද්‍යානය වෙත පැමිණියේය.

අපට මෙම තරගය අමතක නොවන අත්දැකීමක් විය. 62,000කට අධික ප්‍රේක්ෂකයන් පිරිසකගේ ඔල්වරසන්, ප්‍රීති ඝෝෂා නිසා ක්‍රීඩාපිටියම ගිගුම් දෙන්නට විය. තරගය ඇරඹීමට පෙර නෙල්සන් මැන්ඩෙලා තම පිලේ ක්‍රීඩකයන් ද විවේකාගාරයේ දී හමුවෙමින් මෙසේ පවසා තිබිණ.

“රට පෙරට තබා තරග කරන්න”

“මගේ ආදරණීය ක්‍රීඩකයිනි, අද ඔබලා තරග වදින්නේ නවසීලන්තයේ කළු කමිසකාරයන්ට එරෙහිවයි. රග්බි ලෝකයේ ඔවුන් අතිදක්ෂ කණ්ඩායමක්. නමුත් ඔබලා නවසීලන්ත පිලටත් වඩා ප්‍රබලයි. දක්ෂයි. අර ප්‍රේක්ෂාගාර දෙස බලන්න. කළු සුදු ජාතිකයන් හැම දෙනා ඔබලා සමගයි. අමතක කරන්න එපා මාත් ඔබලා සමගයි.” යයි ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා කීවේය.

දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන්ට අතට අත දෙමින් මෙන්ඩෙලා කතා කරන විට නායක ෆ්‍රැන්කොසස් පීනාර් මෙසේ පැවැසීය.

“සර් මට හරි සන්තෝෂයි ඔබතුමා අපේ වර්ණ සහිත ජර්සිය ඇඳගෙන සිටීම”

මිනිත්තු පහළොවකින් පමණ පසුව තරග වැදෙන නවසීලන්ත දකුණු අප්‍රිකානු රග්බි ක්‍රීඩකයන් හඳුනා ගන්නට නෙල්සන් මෙන්ඩෙලා රග්බි ක්‍රීඩා පිටියට පිවිසියේය.
 
“නවසීලන්තයේ යෝධයා ජෝනා ලෝමුට මැන්ඩෙලා අත දෙනවිට ඔහුට ඇතිවුණු ගරු බිය කෙතරම්දැයි ඒ අසල සිටි රූපවාහිනී විස්තර විචාරකයා කීවේ ලෝමු වෙව්ලා ගිය බවකි.  තරගය ආරම්භවීමට පෙර නවසීලන්ත රග්බි ක්‍රීඩකයෝ ඔවුන්ට ආවේනික නවසීලන්ත හකා නැටුම (මාඕරි යුද නැටුම) ඉදිරිපත් කළහ

රග්බි ක්‍රීඩාව මනබඳනා අපූරු ක්‍රීඩාවකි.

උපක්‍රමශීලිත්වය, ශක්තිය, ජවය හා වේගය එයට අන්තර්ගතය. තියුණු අන්දමින් දෙපිලම කරට කර සිට තරග කරන රග්බි ක්‍රීඩාවේ අගය දෙගුණ දෙගුණ වේ. ක්‍රීඩාපිටියෙන් පිටත සිටින ජනතාව තරගය නැරඹුවේ රූපවාහිනියෙනි.

විවේක කාලය වනවිට දකුණු අප්‍රිකාව ලකුණු 9 ක්ද නවසීලන්තය ලකුණු 6 ක් ද ලබාගෙන තිබුණි. මිනිත්තු 90 කින් පසුව තරගය අවසන් වනවිට දෙපිලම ලකුණු 9 බැගින් අත්කරගෙන සිටියහ. එමනිසා ප්‍රථම වරට රග්බි ලෝක කුසලාන අවසන් තරගයක දී දෙපිලට මිනිත්තු 10 බැගින් මිනිත්තු 20ක අතිරේක කාලයක් තරග කිරීමට සිදුවිය.

අතිරේක කාලයේ නවසීලන්ත පිලේ මෙහර්ටන්ස්ගේ දඬුවම් පහරකින් ලකුණු 3ක් ලබාගෙන නවසීලන්තය ඉදිරියට ආවේ 12-9 ක් ලෙසය. නව වන මිනිත්තුවේ දී දකුණු අප්‍රිකාවේ ස්ට්‍රැන්ස්කි සාර්ථක කරගත් තවත් දඬුවම් පහරකින් ලකුණු 12--12 ලෙස සම විය.

දකුණු අප්‍රිකානු නායක පීනාර් තම ස්ක්‍රම්හාෆ් ක්‍රීඩකයාට පන්දුව බාර කළ අවස්ථාවේදී ඔහු එය ගෝල් කණු දෙක මැදින් යන පරිදි පා පහරක් ගැසීය. දකුණු අප්‍රිකාව 1995 ලෝක කුසලාන දිනාගත්තේ ලකුණු 15-12 ක් වශයෙනි.

මුළු ක්‍රීඩා පිටියේදීම “නෙල්සන්, නෙල්සන්, නෙල්සන්” යන නම ගුවනට මුසුවිය. සුදු කළු භේදයෙන් තොරව, දකුණු අප්‍රිකාවේ මිලියන හතළිස් තුනක ජනතාව ජයග්‍රහණය භුක්ති වින්දාහ.

ශාස්ත්‍රවේදී ප්‍රේමසර ඈපාසිංහ විසිනි

 


අදහස් (0)

ඉතිහාසය වෙනස් කළ අවසන් මහ තරගය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.