Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කායවර්ධන ශූරයා ඇමරිකාවට යයි

කායවර්ධන ශූරයා ඇමරිකාවට යයි

නාමල් පතිරගේ - 2020 පෙබ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඇමෙරිකාවේදී ලබන මාර්තු 4 වැනිදා ආරම්භ වන 2020 ක්ලැසික් ආධුනික හා වෘත්තීමය කායවර්ධන ශූරතා තරගාවලියට සහභාගි වන ලූෂන් ඇන්ටන් පුෂ්පරාජ් අද (18) දිවයිනෙන් පිටත්ව යයි.

මාර්තු 8 වැනිදා දක්වා ඇමරිකාවේ ඔහියෝ ප්‍රාන්තයේ කොලම්බස් නුවර දී පැවැත්වෙන මෙම ලෝක ආධුනික කායවර්ධන ශූරතාවලිය සුපර් හෙවි බරපන්තියේ (කිලෝග්‍රෑම් 100 ට වැඩි) තරග වදින 37 හැවිරිදි ලූෂන් පුහුණුවීම් සැසිවාරයකට සහභාගි වීම සඳහා සති දෙකකට පෙර ඇමරිකාව බලා පිටත්ව යාමට තීරණය කර තිබේ.

වසර 2018 තායිලන්තයේදී පැවැති ලෝක කායවර්ධන ශූරතාවලියේ සමස්ත ශූරයා වෙමින් ලෝක ශූරතාවක් ජයගත් පළමු ශ්‍රී ලාංකික කායවර්ධන ක්‍රීඩකයා බවට පත්වූයේද ලූෂන්ය.

ලංකාදීපයට අදහස් දක්වමින් ඔහු පැවසුවේ ක්ලැසික් ආධුනික 2020 තරගාවලියේදී සිය උත්සාහය අවම වශයෙන් පස් වැනි ස්ථානය ලැබීම බවයි. මෙම තරගාවලිය ලෝක කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනය සංවිධානය කරන ඔලිම්පික් තරගාවලියට පමණක් දෙවැනි වන කායවර්ධන තරගාවලියකි.

ලෝක කායවර්ධන සම්මේලනයේ සාමාජික රටවල් බහුතරයක ක්‍රීඩකයන් තරග වදින මෙහි ජයග්‍රාහකයන් ඔලිම්පියා ලෝක ශූරතා තරගාවලියට නිර්දේශ කෙරේ. ලූෂන් පවසන්නේ ලෝක ශූරතා ක්ලැසික් ආධුනික 2020 තරගාවලියට සහභාගි වන පළමු ශ්‍රී ලාංකිකයා ලෙස ඊට සහාගිවීම තුළින්ම තමා ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කරදීමට සමත්ව සිටින බවයි. කෙසේ වුවත් මේ වන විට රට ජාතික කායවර්ධන සම්මේලනය හෝ ඒ වෙනුවට අතුරැ කමිටුවක් ක්‍රියාත්මක නොවන තත්ත්වයක් තුළ ඇමරිකානු තරග සංචාරය සඳහා සියලු සූදානම්වීම් තමන්ටම ඉටු කර ගැනීමට සිදුව තිබෙන බවද හෙතෙම පැවසීය.

මෙම තරගාවලියට සහභාගි වීම සඳහා අවශ්‍ය රුපියල් මිලියන 2.5ක පමණ මුදලක් තමන්ගේ හිත මිතුරන්ගෙන් සොයා ගැනීමට තමන්ට හැකිවූ බවත් ඔහු ලංකාදීපයට වැඩිදුරටත් පැවසීය.

මේ වන විට මැකාවෝ රාජ්‍යයේ ජාතික කායවර්ධන පුහුණුකරැ ලෙස පත්වීම් ලබා සිටින ලූෂන් වසර 2013දී ජාතික අයෝමය ශූරයා කිරුළ හිමිකර ගැනීමෙන් පසුව දේශීය තරගාවලි සඳහා සහභාගිත්වය අත්හැර දැමීය. ඊට හේතු ලෙස ඔහු පැවසුවේ ජාතික තරගාවලිය ජය ගැනීමෙන් පසුව ඊට උසස් වෙනත් දේශීය තරගාවලික් තවත් නොමැති බැවින් තරැණ හා නවක ක්‍රීඩකයන්ට අවස්ථාව සලසා දෙමින් තමන් එම තීරණයට පැමිණි බවයි.

වසර 2017දී කොරියාවේ පැවැති ආසියානු කායවර්ධන (විවෘත) ශූරතා තරගාවලිය ජය ගත් ලූෂන් ජයගත් සෙසු ප්‍රධානතම ජාත්‍යන්තර තරග අතර ඕමාන ජතික අයෝමය ශූරතා තරගාවලිය, කොළඹ දී පැවැති 2014 ආසියානු කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා තරගාවලියේ දී කිලෝග්‍රෑම් 100 බර පන්තියෙන් රිදී පදක්කම දිනා ගැනීමත් කැපී පෙනේ. ඒ අතරතුර ඔහු ඕස්ට්‍රියාව, කුවේට් ආදී රටවල් කීපයක පැවැති ජාත්‍යන්තර තරගවල දී ද පදක්කම් හිමි කර ගෙන තිබේ.

ඇමෙරිකාවේදී මාර්තු 4 වැනිදා පැවැත්වෙන ක්ලැසික් 2020 ලෝක ශූරතා කායවර්ධන තරගාවලිය ආධුනික හා වෘත්තීය යන ප්‍රධාන කාණ්ඩ දෙකකින් සමන්විතය. ආධුනික තරගාවලියේ ජයග්‍රාහකයන් වූවන්ට පමණක් එහි වෘත්තීය කාණ්ඩයේ තරගාවලියට සහභාගි විය හැකිය. එහි ජයග්‍රාහකයන්ට ඉහළ මට්ටමේ මුදල් ත්‍යාග ද හිමිවේ.


අදහස් (0)

කායවර්ධන ශූරයා ඇමරිකාවට යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.