Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket බංග්ලාදේශ පිලේ ශ්‍රී ලංකා සංචාරය අවිනිශ්චිත ඉසව්වකට ඇදී යයි

බංග්ලාදේශ පිලේ ශ්‍රී ලංකා සංචාරය අවිනිශ්චිත ඉසව්වකට ඇදී යයි

දමින්ද විජේසූරිය - 2020 සැප් මස 14 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය සිය නිර්දේශයන්ට  ඇලී සිටීම නිසා මේ මස අගදී ආරම්භ වීමට නියමිත බංග්ලාදේශ පිලේ ශ්‍රී ලංකා සංචාරය ටෙනිස් තරගයක තත්ත්වයට පත්ව තිබේ. මෙම සංචාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් වරෙක පවසන දේට පටහැණි දේ බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ප්‍රකාශයට පත්කෙරෙයි.

පාර්ශ්ව දෙකම තම තමන්ගේ අවශ්‍යතාවන්ට අනුගත වීම හේතුවෙන් බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය තවමත් අවිනිශ්චිත තත්ත්වයක පවතී.

බංග්ලාදේශයේ මිර්පූර් නුවරින් අද සවස වාර්තා වූයේ දින 14 ක නිරෝධායන කාලසීමාව බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ප්‍රතික්ෂේප කරන ලද බවයි. එහෙත් ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා කියා සිටියේ දැනට තමන් සතුව ඇත්තේ මාධ්‍ය වාර්තා පමණක් බවයි.

“අපේ යෝජනාව ප්‍රතික්ෂේප කරලා කියලා අපට කිසිම නිල දැනුම් දීමක් කරලා නෑ“ යයිද ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරියා පැවසීය.

“ඒ ගොල්ලන් මොනවා කීවත් සංචාරයට එනවාද නැද්ද කියන එක ගැන තවමත් ස්ථිර වචනයක් නෑ.....අපි බලන් ඉන්නේ ඒ සම්බන්ධයෙන් අපට ලිඛිතව යමක් එවන තුරුයි“ යයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තවත් උසස් නිලධාරියෙක් පවසා සිටියේය‍.‍

ශ්‍රී ලංකාවට ඇතුළු වන ඕනෑම අයෙක් දින 14 ක කාලයක් නිරෝධායනය වීම අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය අමාත්‍යංශ බලධාරීහු අවධාරනය කරති. මෙම තත්ත්වය බංග්ලාදේශයට දැනුම් දීමෙන් පසුව එය වෙනස් කරන ලෙස බංග්ලාදේශ බලධාරීහු ඉල්ලා සිටිති.  බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයේ ඉල්ලීම වන්නේ මෙම නිරෝධායන කාලය දින 7 ක් දක්වා අඩු කරන ලෙසයි.

“එහෙම කරන්නේ කොහොමද ? ඒ ගොල්ලන්ට පුළුවන්ද ලංකාවේ නීති වෙනස් කරන්න.... අනෙක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමට එක නීතියකුත් අනෙක් අයට තවත් නීතියකුත් ක්‍රියාත්මක කරන්න පුළුවන්ද“ යයි එම නිලධාරියා ප්‍රශ්න කර සිටියේය.

බංග්ලාදේශ කණ්ඩායම මේ වන විටත් මිර්පූර්හිදී පුහුණුවීම් කරමින් සිටී. බංග්ලාදේශ පුහුණුකරුවන් වන රසල් ඩොමින්ගෝ සහ ඔටිස් ගිබ්සන් යන මහත්වරු දෙදෙනාම, සිය නිරෝධායන කාල සීමාව සම්පූර්ණ කිරීමෙන් පසුව බංග්ලාදේශ කණ්ඩායමට අච (14 වැනිදා) එක්වූහ.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර කලින් ඇතිකරගත් එකඟතා අනුව බංග්ලාදේශ ටෙස්ට් කණ්ඩායම මේ මස 27 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව සිටියේය. ඒ සමගම බංග්ලාදේශයේ නැගී එන කණ්ඩායමද ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව සිටි අතර ඔව්හු මාසයක කාලයක් ශ්‍රී ලංකාවේදී පුහුණුවීම් කිරීමට සූදානමින් සිටියහ. මෙම කාල සීමාව තුළදී ඔවුන්ගේ හෝටල් ගාස්තු සහ අනෙකුත් වියදම් දැරීමට බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය එකඟ වී සිටියේය.

දෙරට අතර ටෙස්ට් තරගාවලිය ආරම්භ කිරීමට නියමිතව තිබුණේ ඔක්තෝබර් 24 වැනිදාය. එයින් තරග දෙකක් පල්ලෙකැළේදීත් තවත් තරගයක් කොළඹදීත් පැවැත්වීමට නියමිතව තිබුණද ඒ සඳහා දින වෙන්කිරීමක් කර නොතිබිණ.

අන්තර්ජාතික මාධ්‍ය කිහිපයකම වාර්තා වූයේ “එය දින 7 ක නිරෝධායන කාලයක් නම් අපට ශ්‍රී ලංකා සංචාරය සඳහා සහභාගි විය හැකියි“ යයි බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී නිසාමුදීන් චෞද්රි මහතා පැවසූ බවයි.

මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කරන ලද නිර්දේශ බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයට යවා ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පවසයි. ඒ සම්බන්ධයෙන් බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රතිචාර ලැබෙන තුරු තමන් බලා සිටින බවද ඈෂ්ලි ද සිල්වා මහතා කියයි.

“ඔවුන් (සෞඛ්‍ය අමාත්‍යාංශය)  අපට මාර්ගෝපදේශ ලබා දී තිබෙනවා. එම මාර්ගෝපදේශයන්ට අනුව, (එය රජයේ නිර්දේශයක් බැවින්) කිසිදු ආසාදිතයෙක් හමු නොවීම සඳහා ඔවුන් දින 14 ක් නිරෝධායනය විය යුතුයි..... බුබුළ (ක්‍රීඩකයන්ගෙන් සහ සහායක නිලධාරීන්ගෙන් මෙන්ම පුහුණුකරුවන්ගෙන් සමන්විත ඒකකය) නිර්මාණය කළ පසුව එහි දින 14 ක් ගතකළ යුතුයි. එතකොට තරගාවලිය ආරම්භ වීමට පෙර කිසිම කොරෝනා ආසාදිතයෙන් හමුවන්නේ නෑ“ යයි ඈෂ්ලි ද සිල්වා මහතා පැහැදිලි කළේය.

“වෙනත් ඕනෑම රටක සිදුවන්නේත් එයයි. නිරෝධායනයට දින 14 අත්‍යවශ්‍යයි. එක්සත් රාජධානියේ පවා, බුබුල නිර්මාණය කළ පසු, ඔවුන් සංචාරයේ ඉතිරි කාලය සඳහා එකට සිටියා“ යයිද ඈෂ්ලි ද සිල්වා මහතා පැවසීය.

“දින 14 ක් සඳහා වැයවන පිරිවැය සම්බන්ධයෙන් රටවල් දෙකේ පාලක මණ්ඩලවලට සාකච්ඡා කර විසඳුමකට පැමිණීමට හැකියි. ඒත් එය කළ යුතු ආකාරය ගැන කතා කරන්න නම් ඔවුන් එන නොඑන බව ස්ථිර වශයෙන් කියන්න ඕනෑ ”

මෙම තත්ත්වය අනුව යම් හෙයකින් ශ්‍රී ලංකා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ කොන්දේසි වලට අනුගත වීමට බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය අකමැති වුවහොත් මේ වසරේදී ටෙස්ට් තරගාවලියට සහභාගි වීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ගිළිහෙනු ඇත.

දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනයද මේ වන විට අත්හිටුවා තිබෙන බැවින් බංග්ලාදේශ කණ්ඩායම ශ්‍රී ලංකාවට නොපැමිණියහොත් ශ්‍රී ලංකා කණ්ඩායමේ මීළඟ ටෙස්ට් තරගාවලිය ලබන ජනවාරියේදී එංගලන්ත කණ්ඩායමට එරෙහිව වනු ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට ටෙස්ට් තරගයකට සහභාගි වූයේ මේ වසරේ ජනවාරි මාසයේදී සිම්බාබ්වේ පිලට එරෙහිව හරාරේහිදීය.

ටෙස්ට් තරගාවලියකට සහභාගි වීම සඳහා පසුගිය මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණ සිටි එංගලන්ත කණ්ඩායම කොරෝනා වයිරසයේ බලපෑම හේතුවෙන් තරගාවලිය අතහැර දමා ආපසු එංගලන්තයට ගියේය.


අදහස් (1)

බංග්ලාදේශ පිලේ ශ්‍රී ලංකා සංචාරය අවිනිශ්චිත ඉසව්වකට ඇදී යයි
  • විජේ Monday, 14 September 2020 03:29 PM

    අනිත් හැමතැනම, හැමෝටම නිරෝධායනය අඩුම සති 2යි. ඒත් සැරටම කොරෝනා තියන රටකින් එන අයට සතියයිලු, මෝඩද මන්දා මේ අය මෙච්චර...

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.