Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball උස්බෙකිස්තාන - ශ්‍රී ලංකා තරගය 14 දා

උස්බෙකිස්තාන - ශ්‍රී ලංකා තරගය 14 දා

editorial - 2021 ජුලි මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ආසියානු වොලිබෝල් (පිරිමි) ශූරතා තරගාවලියට මධ්‍යම ආසියානු කලාපයෙන් සුදුසුකම් ලබාගන්නා කණ්ඩායම තීරණය කෙරෙන ශ්‍රී ලංකාව හා උස්බෙකිස්ථානය අතර කඩඉම් තරගය මෙම 14 වැනිදා පස්වරු 3ට කොළඹ සුගතදාස ගෘහස්ථ පිටියේදී පැවැත්වේ. මෙම තරගය කොළඹදී පැවැත්වීමට ගෙන තිබෙන තීරණයට උස්බෙකිස්ථානය කැමැත්ත පළ කිරීමෙන් පසුව එම තරගය සඳහා ශ්‍රී ලංකාවේ සත්කාරය මේ වනවිට තහවුරු වී තිබේ.

මෙම කඩඉම් තරගය සිය රටේදි පැවැත්වීමට උස්බෙකිස්ථානය මුලින් උනන්දු වී සිටියේය.

21 වැනි ආසියානු ශූරතා (පිරිමි) වොලිබෝල් තරගාවලිය ලබන සැප්තැම්බර් 12 වැනිදා සිට 19 වැනිදා දක්වා ජපානයේ ‘චිබා’ නගරයේදී පැවැත්වීම දැන් ස්ථිර වී තිබේ. එහි කාන්තා තරගාවලිය ලබන අගෝස්තු 29 වැනිදා සිට සැප්තැම්බර් 5 වැනිදා දක්වා පිලිපීනයේ ‘යූබික්’ හා ‘ක්ලාක්’ යන නගර දෙකකදී පැවැත්වේ. එහෙත් එම තරගාවලිය සඳහා සහභාගි නොවීමට ශ්‍රී ලංකාව තීරණය කර තිබේ.

ආසියානු කලාපයේ ශ්‍රී ලංකාවට වඩාත්ම වැදගත්ම තරගාවලිය වන ආසියානු (පිරිමි) වොලිබෝල් තරගාවලිය සඳහා රටවල් 16ක් තරග වදියි. ඒ ආසියානු ශ්‍රේණිගත කිරීමේදී 10 වැනි ස්ථානය දක්වා පැමිණි රටවල් හැරෙන්නට ආසියානු වොලිබෝල් සමුළුවට අයත් කලාප පහෙන් නිර්දේශ ලබන රටවල් පහකි. සෙසු රට වන්නේ තරගාවලියට සත්කාරය දරන රටයි.

මධ්‍යම ආසියානු කලාපයෙන් ඒ සඳහා ශ්‍රී ලංකාවට හෝ උස්බෙකිස්ථානයට අවස්ථාව හිමිව තිබේ. ඒ සඳහා මෙම දෙරටෙන් එක් රටකට කැමැත්තෙන් ඉවත්ව යාමේ අවස්ථාවද සලසා තිබේ.
කෙසේ වුවත් දෙරටම ආසියානු ශූරතා තරගාවලියට ඇතුළත්වීමට උත්සාහ දරන බැවින් මෙම 14 වැනිදා කොළඹ දී පැවැත්වෙන කඩඉම් තරගයෙන් මධ්‍යම ආසියානු කලාපයේ ‘සුදුස්සා’ තරගාවලියට තීරණය වේ.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ.එස්. නාලක මහතා ‘ලංකාදීප’යට පැවසුවේ, කඩඉම් තරගය කොළඹ දී පැවැත්වීමට ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්‍ෂ මහතා සහයෝගය පළකර තිබෙන බවයි.

මේ අතර ගාල්ල වොලිබෝල් සංකීර්ණයේදී පැවැති විශේෂ තේරීම් තරගාවලියකින් පසුව ක්‍රීඩකයන් 20 දෙනකුගේ සංචිතයක් මේ වනවිට කොළඹ සුගතදාස හෝටලයේ ස්ථාපිත කර තිබේ. පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ සීමාවන්ට යටත්ව ගාල්ලේදී පැවති විශේෂ තේරීම් තරගාවලියට කැඳවූයේ කලින් තෝරාගත් ක්‍රීඩකයන් පිරිසක් පමණි.

පසුගිය වසර හතරක කාලයක් පුරා ජාතික වොලිබෝල් (පිරිමි) ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ කණ්ඩායම්වල කටයුතු කළ ක්‍රීඩකයන්, එකී කාලය පුරා ජාතික වොලිබෝල් සංචිතවල කල් ගෙවා ඇති ක්‍රීඩකයන්, වොලිබෝල් සම්මේලනය සංවිධාන කළ වොලිබෝල් තරග මාලාවලදී දක්‍ෂතම ක්‍රීඩකයන් ලෙස තේරුණ අයත්, එමෙන්ම ජාතික වොලිබෝල් තේරීම් කමිටුව පසුගිය දේශීය තරගවලදී වඩාත් දක්‍ෂයන් ලෙස නිර්දේශ කළ වොලිබෝල් ක්‍රීඩකයනුත් ගාල්ලේදී පැවැති විශේෂ තේරීම් තරගාවලියට කැඳවා තිබේ.

ජාතික වොලිබෝල් (කාන්තා සහ පිරිමි) සංචිත පසුගිය වසරකටත් වැඩි කාලයක් පුරා ක්‍රියාත්මක නොවුණත් ජාතික පුහුණුකරුවන් පත් කිරීමට වොලිබෝල් සම්මේලනය කටයුතු කර තිබුණි.
ජාතික වොලිබෝල් (පිරිමි) කණ්ඩායමේ පුහුණුකරු ලෙස චන්න ජයසේකර මහතාත් ජාතික වොලිබෝල් (කාන්තා) කණ්ඩායමේ පුහුණුකරු ලෙස චාල්ස් තිලකරත්න මහතාත් කටයුතු කරති.

ශ්‍රී ලංකාව අවසන් වරට සහභාගි වූ අන්තර්ජාතික වොලිබෝල් තරගමාලාව වන්නේ වසර 2019 දෙසැම්බර් මාසයේදී, නේපාලයේ කත්මණ්ඩු නුවරදී පැවති 13 වැනි සාග් ක්‍රීඩා උළෙලයි. ඒ සඳහා විදේශීය පුහුණුකරුවන්ගේ සේවය ලබාගත්තත් ශ්‍රී ලංකාවේ දස්කම් කාන්තා හා පිරිමි ලෝකඩ පදක්කම් දෙකකට සීමා විය.

21 වැනි ආසියානු වොලිබෝල් (පිරිමි) තරගාවලිය සඳහා දකුණු ආසියානු කලාපයෙන් පාකිස්ථානය හා ඉන්දියාව දැනටමත් සුදුසුකම් ලබා තිබේ.

ආසියානු ශූරතා වොලිබෝල් තරගාවලියට කිසියම් රටක් සුදුසුකම් ලැබීමෙන් පසුව ඒ සඳහා සහභාගි නොවන්නේ නම් ඔවුන්ට ඇමරිකානු ඩොලර් 35,000 ක (රුපියල් ලක්ෂ 70 ක් පමණ) දඩයකට යටත්වීමට සිදුවේ.


අදහස් (0)

උස්බෙකිස්තාන - ශ්‍රී ලංකා තරගය 14 දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.