Last Update  :  2024-05-19 14:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Uncategorized දකුණු අප්‍රිකානු පිතිකරුවෝ සාර්ථක පුහුණුවක් ලබති

දකුණු අප්‍රිකානු පිතිකරුවෝ සාර්ථක පුහුණුවක් ලබති

Nisanka Sandeepani - 2018 ජුලි මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායම අතර කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැති දෙදින පුහුණු තරගය අද (8 වැනිදා) ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය. දකුණු අප්‍රිකානු පළමු ඉනිමේ අවසන් කඩුල්ල ලෙස ඬේල් ස්ටේන් දැවී යන විට තරගයේ අවසන් පැය ක්‍රියාත්මක වෙමින් තිබූ නිසා දෙවැනි ඉනිමක් ක්‍රීඩා නොකරම තරගය නතර කිරීමට විනිසුරුවෝ පියවර ගත්හ. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් රැස්කළ ලකුණු 287 ට පිළිතුරු වශයෙන් ලකුණු 338 ක් රැස්කිරීමට දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ සමත් වූහ. පළමු දිනය වූ ඊයේ (7 වැනිදා) තරගය නතර කරන විට කඩුල්ලක් දැවී ලකුණු 17 ක් ලබා සිටි දකුණු අප්‍රිකානු කණ්ඩායම අද දිනයේදී සිය පළමු ඉනිමට තවත් ලකුණු 321 ක් එක්කර ගත්තේය.  

මුලු ලකුණු සංඛ්‍යාව 78 ක්ව තිබියදී දිනයේ පළමු කඩුල්ල ලෙස ආරම්භක පිතිකරු ඩීන් එල්ගා දැවී ගියේ විකුම් සංජයගේ පන්දුවක් කඩුල්ලේ දැවටීමෙනි. දැවීයන විට ලකුණු 43 ක් ලබා අර්ධ ශතකය පෙනෙන මානයේ සිටි එල්ගාගේ ඉනිම හතරේ පහර 8 කින් සමන්විත වී තිබිණ. දෙවැනි කඩුල්ල වෙනුවෙන් හෂීම් අම්ලා සමග එක්ව ලකුණු 61 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද එල්ගා සමත් විය. 

හතරේ පහර 11 ක් සමග ලකුණු 78 ක් ලබා සාර්ථක පිතිහරඹයක නිරත වෙමින් සිටි හෂීම් අම්ලා, දිවා ආහාරය නිමවී පැයක පමණ කාලයක් පන්දුවට පහරදීමෙන් අනතුරුව සෙසු ක්‍රීඩකයන්ට පන්දුවට පහරදීමට අවස්ථාව සළසා දෙමින් පිටියෙන් ඉවත්ව ගියේය. අද දිනයේදී ලසිත් ඇඹුල්දෙණිය යැවූ පළමු ඕවරයට අලංකාර හතරේ පහර 3 කින් සංග්‍රහ කරමින් අම්ලා සිය අර්ධ ශතකය සම්පූර්ණ කළේය. 

අම්ලා සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 77 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ටේම්බා බවුමා (58), ඉන් නොනැවතී නායක ෆෆ් ඩුප්ලෙසී (79) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 68 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් දකුණු අප්‍රිකානු ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය. වනිඳු හසරංගගේ පන්දුවක් හමුවේ මිඞ් ඕන් කළාපයට ඉහළින් ඇදීයන ලෙස ගැසූ පහරක් වැරදීමෙන් ඉහළ ගිය පන්දුව ධනුෂ්ක ගුණතිලකගේ දෑත් අතර සිරවීමත් සමග බවුමාගේ ඉනිම නිමාවට පත් විය. ඉතා ආරක්ෂාකාරී පිතිහරඹයක නිරත වූ බවුමා සිය අර්ධ ශතකය හයේ පහරකින් සහ හතරේ පහර 6 කින් සැරසීය. 

බවුමාගේ දැවී යෑමෙන් අනතුරුව පිටියට පිවිසි තෙනිස් ඩි’බ්‍රයන්ට වැඩිවේලාවක් පිටියේ රැදී සිටීමට ධනංජයද සිල්වා ඉඩක් ලබා නොදුන්නේය. රොෂේන් සිල්වාගේ දක්ෂ උඩ පන්දු රැකීම හමුවේ පිටියෙන් ඉවත්ව යන විට බ්‍රයන් ලබා සිටියේ ලකුණු 11 ක් පමණි. මිනෝද් භානුකගේ සහයද ඇතිව ලකුණු 2 ක් ලබා සිටි ක්වින්ටින් ඩි’කොක් පිටියෙන් ඉවත් කළ වනිඳු හසරංග, එම ඕවරයේදීම වර්නන් පිලැන්ඩර් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගත්තේ ඔහු ලකුණු ලබාගැනීම ආරම්භ කිරීමටත් පෙරාතුවය. 

දකුණු අප්‍රිකානු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ නායක ෆෆ් ඩුප්ලෙසී තරමක වේගවත් පිතිහරඹයක නිරත වෙමින් පන්දු 85 කදී ලකුණු 79 ක් රැස්කළේ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට මහත් හිසරදයක් වෙමිනි. ලසිත් ඇඹුල්දෙණියගේ පන්දුවක් හමුවේ වනිඳු හසරංග අතට පහසු උඩ පන්දුවක් දෙමින් දැවී යන විට ඩුප්ලෙසී සිය අර්ධ ශතකය හයේ පහරකින් සහ හතරේ පහර 13 කින් සරසා තිබිණ. 

ඩුප්ලෙසිගේ දැවී යෑමෙන් අනතුරුව දකුණු අප්‍රිකානු ඉනිමට තවත් ලකුණු 10 ක් එක්වෙද්දී කගිසෝ රබාඩා කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින් පිටියෙන් ගියේ ලසිත් ඇඹුල්දෙණියගේ දෙවැනි කඩුල්ල බවට පත්වෙමිනි. දැවැන්ත හයේ පහර 3 ක් සමගින් පන්දු 20 කදී වේගවත් ලකුණු 26 ක් රැස්කළ ඬේල් ස්ටේන්, ධනංජය ද සිල්වාගේ පන්දුවක් හමුවේ ඉදිරියට පැන ගැසූ පහරකින් ඉහළ ගිය පන්දුව උඩ පන්දුවක් බවට පත්කර ගැනීමට වනිඳු හසරංග සමත් වීමත් වීමත් සමග දකුණු අප්‍රිකානු ඉනිම නිමාවට පත් විය. 

 

 


අදහස් (0)

දකුණු අප්‍රිකානු පිතිකරුවෝ සාර්ථක පුහුණුවක් ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.