
ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලියෙන් සහ විස්සයි-20 තුන්කොන් තරගාවලියෙන් පිතිකරු හසන් නවාස් ඉවත් කළ පාකිස්තානය ෆකාර් සමාන් විස්සයි20 සංචිතයට කැඳවා තිබේ. එහෙත් එක්දින සංචිතයේ සිටි හසන් නවාස් වෙනුවට ආදේශ ක්‍රීඩකයකු නම්කර නැත.
පාකිස්තානයට හදිසියේම පෑයූ තරුවක් වූ හසන් නවාස් පසුගිය මාර්තු මාසයේදී නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ් නුවරදී පැවැති විස්සයි-20 තරගයකදී ශතකයක් ලබාගනිමින් පාකිස්තානු පිල ජයග්‍රහණය කරා කැඳවාගෙන ගියේය. ඕක්ලන්ඩ් තරගය හසන් නවාස්ගේ තුන්වැනි විස්සයි-20 තරගය ද විය.
ඔහු දීප්තිමත් අනාගතයකට හිමිකම් කියනු ඇතැයි විශ්වාස කළ පාකිස්තානු ක්‍රිකට් තේරීම් කමිටුව හසන් නවාස්ට දිගින් දිගටම අවස්ථාව දුන්නේය. එහෙත් ප්‍රතිඵලය වූයේ හසන් නවාස් දිගින් දිගටම අසාර්ථක වීමයි. ඔහුගේ පළමු තරග දහයේන් තරග 5 කදී ලකුණු නොලබා දැවී ගිය නමුත් හසන් නවාස් කණ්ඩායමේ රඳවාගන්නා ලදි. එහෙත් තව දුරටත් ඔහු වෙනුවෙන් කාලය නාස්ති නොකිරීමට වගබලාගත් පාකිස්තානු තේරීම් කමිටුව, පාකිස්තානයේ දේශීය තරගාවලිය වන ක්වාඩ්-ඊ-අසාම් තරගාවලියේ ක්‍රීඩා කරන ලෙස නියෝග කරමින් තරුණයාව ජාතික සංචිතයෙන් නිදහස් කර තිබේ.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාව, පාකිස්තානය සහ සිම්බාබ්වේ අතර පැවැත්වෙන තුන්කොන් තරගාවලිය මේ මස අවසන් සතිය දක්වා දිග්ගැස්සෙන බැවින් ඕනෑම මොහොතකදී හසන් නවාස් කණ්ඩායමට කැඳවාගැනීමේ අවස්ථාව පාකිස්තානු තේරීම් කමිටු නිලධාරීන් විසින් ඉතිරි කරගෙන තිබේ.
විශේෂයෙන්ම විස්සයි-20 තරගයක ඉනිමේ මැද සහ අග්ගිස්සේදී (16 වැනි ඕවරයෙන් පසුව) පිටියේ ඈතට ඉහළින් ගොස් පන්දුව වැටෙන පරිදි විශාල පහර ගැසීමට හසන් නවාස්ට ඇති හැකියාව පාකිස්තානු තේරීම් කමිටු නිලධාරීන්ගේ අවධානයට ලක්වී තිබේ. එය අනෙක් සෑම ක්‍රීඩකයෙකුටම වඩා ඉහළ මට්ටමක ඇතැයි ද සැලකේ.
‘ක්වෙටා ග්ලැඩියේටර්ස්’ කණ්ඩායම පාකිස්තානනු සුපර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගය දක්වා රැගෙන යමින් විස්මිත පිතිහරඹයක නිරත වූ හසන් නවාස්, එම තරගාවලියේ තුන්වැනිව වැඩිම ලකුණු ලබාගත් ක්‍රීඩකයා බවටද පත්විය. පාකිස්තානු සුපර් ලීග් තරගාවලියේදී හසන් නවාස්ගේ ලකුණු ලබාගැනීමේ ප්‍රවේගය (ප්‍රහාරාත්මක වේගය හෙවත් පන්දු 100 කින් ලබාගන්නා ලකුණු සංඛ්‍යාව) 162 ඉක්මවා තිබිණ.
කෙසේ වෙතත් ආසියානු කුසලාන තරගාවලියේ අග කොටසින් හසන් නවාස් ඉවත් කළ පාකිස්තානය ඒ වෙනුවට හුසේන් තලාත් කැඳවීය.
පාකිස්තානු එක්දින සංචිතය
ශහීන් ෂා අෆ්රිඩි (නායකයා), අබ්රාර් අහමඩ්, බබාර් අසාම්, ෆහීම් අෂ්රෆ්, ෆයිසාල් අක්රම්, ෆකාර් සමාන්, හාරිස් රවුෆ්, හසීබුල්ලා, හුසේන් තලාත්, මොහොමඩ් නවාස්, මොහොමඩ් රිස්වාන් (කඩුලු රකින්නා), මොහොමඩ් වසිම්, නසීම් ෂා, සයිම් අයුබ් සහ ෂල්මන් අලි අඝා
පාකිස්තානු විස්සයි-20 සංචිතය
සල්මන් අලි අඝා (නායකයා), අබ්දුල් සමාඩ්, අබ්රාර් අහමඩ්, බබාර් අසාම්, ෆහීම් අෂ්රෆ්, ෆකාර් සමාන්, මොහොමඩ් නවාස්, මොහොමඩ් වසීම්, මොහොමඩ් සල්මන් මිර්සා, නසීම් ෂා, ශාහිබ්සාදා ෆර්හාන් (කඩුලු රකින්නා්), සයිම් අයුබ්, ශහීන් ෂා අෆ්රිඩි, උස්මන් ඛාන් (කඩුලු රකින්නා) සහ උස්මන් තාරික්
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.