Last Update  :  2025-12-18 18:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story හිටපු සභාපතිට උපරිමාධිකරණයෙන් වාරණයක්

හිටපු සභාපතිට උපරිමාධිකරණයෙන් වාරණයක්

සංජය එරමුදුගොඩ - 2013 සැප් මස 27 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ලබන ඉරිදා පැවැත්වීමට නියමිත ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩල නිලවරණයේදී එහි හිටපු සභාපතිවරයා වන නාරායන්ස්වාමි ශී‍්‍රනිවාසන් මහතා නැවතත් සභාපති තනතුර සඳහා තේරී පත්වුවහොත් ඔහුට ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයේ පරිපාලනය බාරගත නොහැකි වන පරිදි ඉන්දීය උපරිමාධිකරණයෙන් නියෝගක් නිකුත් කර තිබේ.

මෙම නියෝගය අද (27 වැනිදා) නිකුත් කරන ලද බව හින්දුස්තාන් ටයිම්ස් පුවත් පතේ නිල වෙබ් අඩවියේ සඳහන් වේ.

මේ අතර අවිනිශ්චිත තත්ත්වයට පත්ව තිබූ ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයේ වාර්ෂික මහ සභා රැස්වීම සහ නිලවරණය යොදාගත් පරිදි පැවැත්වීමටද ඉන්දීය උපරිමාධිකරණය අවසර දී ඇත.

”එහිදී සභාපති තනතුර සඳහා ශී‍්‍රනිවාසන් මහතාට තරග කළ හැකි නමුත් යම් විධියකින් ශී‍්‍රනිවාසන් මහතා සභාපති තනතුර සඳහා පත්වුවහොත් ඒ සම්බන්ධයෙන් නැවත දැනුම් දීමක් කරන තුරු ඔහුට තනතුරු බාරගත නොහැකියි” යයි ඉන්දීය උපරිමාධිකරණයේ නියෝගය වී තිබේ.

ඉන්දීය උපරිමාධිකරණය මෙම නියෝගය පනවා ඇත්තේ ශී‍්‍රනිවාසන් මහතා ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයේ සභාපති තනතුර සඳහා තරග කිරීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැ’යි ඉල්ලා බිහාර් කි‍්‍රකට් සංගමය විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමක් සලකා බැලීමෙන් පසුවය.

අයි. පී. එල්. තරගාවලියේ මුදලට තරග පාවාදීමේ අවස්ථා සම්බන්ධයෙන් ශී‍්‍රනිවාසන් මහතාගේ බෑණනුවන් වන ගුරුනාත් මෙයියප්පන් මහතා චෝදනාවට ලක්ව සිටී.

”සභාපති තනතුර සඳහා පත්වෙන්න ඔබ ඔය තරම් උනන්දු ඇයි?” යයි විනිසුරු මඬුල්ල විසින් විමසනු ලැබ ඇත. එහි අදහස වී ඇත්තේ මුදලට තරග පාවාදීමේ සිද්ධිය පිළිබඳ පරීක්‍ෂණ අවසන් වන තුරු ශී‍්‍රනිවාසන් මහතාට ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයේ සභාපති තනතුර බාරගත නොහැකි බවයි.

අයි. පී. එල්. තරගාවලියේදී මුදලට කී‍්‍රඩා කිරීමේ අවස්ථා සහ ඊට සම්බන්ධ වූ කිහිප දෙනා අතරට ශී‍්‍රනිවාසන් මහතාගේ බෑණනුවන් වන ගුරුනාත් මෙයියප්පන් මහතාද ඇතුළත් බව මීට මාස කිහිපයකට ඉහතදී හෙළිදරව් විය. අනතුරුව ඉන්දීය කි‍්‍රකට් නිලධාරීන්ගේම බලකිරීම මත ශී‍්‍රනිවාසන් මහතා සභාපති තනතුරෙන් ඉල්ලා අස්වූ අතර ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයේ එදිනෙදා කටයුතු මෙහෙයවීම හිටපු සභාපතිවරයකු වන ජග්මෝහන් දල්මියා මහතාට පවරන ලදි.

කෙසේ වෙතත් මෙවර නිලවරණයේදී සභාපතිවරයා වී ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයේ පාලන බලය නැවත වරක් සියතට ගැනීමට ශී‍්‍රනිවාසන් මහතා සූදානමින් සිටියේය.ශී‍්‍රනිවාසන් මහතා මෙම නිලවරණය සඳහා ඉදිරිපත් වන්නේද නැතහොත් තමන්ගේ විරුද්ධවාදීන්ට දිනුම දී පසෙකට වන්නේද යන්න ස්ථිරව කිව නොහැකි බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයේ වාර්ෂික මහ සභා රැස්වීම සහ නිලවරණය ලබන ඉරිදා (29 වැනිදා) චෙන්නායි නුවරදී පැවැත්වේ.

 


අදහස් (1)

හිටපු සභාපතිට උපරිමාධිකරණයෙන් වාරණයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.