Last Update  :  2026-03-27 19:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සෙරීනා ලෝක වාර්තාව හඹා යයි

සෙරීනා ලෝක වාර්තාව හඹා යයි

සංජය එරමුදුගොඩ - 2019 ජන මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


විස්මිත පුනරාගමනයකින් පසුව ග්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතාවලි දෙකකම අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ අමෙරිකාවේ සුපිරි ක්‍රීඩිකා සෙරීනා විලියම්ස් අද ඇරැඹෙන ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාවලියේදි තවත් වාර්තාවක් සොයා යයි. ඇයගේ කුරුමානම නොමැකෙන අයුරින් සිය නාමය ටෙනිස් ක්‍රීඩා ඉතිහාසයේ ලියා තැබීමයි.  

මේ වනවිට ග්‍රෑන්ඞ් ස්ලැම් ශූරතා 23 ක් දිනා සිටින 37 හැවිරිදි මෙම ජවසම්පන්න ක්‍රීඩිකාව මෙවර ඕස්ට්‍රේලියානු තරගාවලියේ ශූරතාව දිනාගතහොත් ග්‍රෑන්ඞ් ස්ලෑම් ටෙනිස් ශූරතා වැඩිම සංඛ්‍යාවක් දිනූ ඕස්ට්‍රේලියාවේ හිටපු ශ්‍රේෂ්ඨ ක්‍රීඩිකා මාගරට් කෝට්ගේ වාර්තාව සම කරනු ඇත. සෙරීනාගේ පළමු බලාපොරොත්තුව මාගරට් කෝට් හා සමතැන් ගැනීමයි.

මීට වසර දෙකකට පෙර සති අටක ගැබිනියක් ලෙස සිය 7 වැනි ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් කිරුළ දිනාගත් සෙරීනා දරු ප්‍රසූතියෙන් පසුව ඕස්ට්‍රේලියානු ටෙනිස් පිටියට පා තබන පළමු අවස්ථාව මෙයයි.  

ඇගේ ඇතැම් සමීපතම ප්‍රතිවාදී ක්‍රීඩිකාවන්ට අනුව සෙරීනාට මෙවර තරගාවලියේදී සිය බලාපොරොත්තුව ඉටු කරගැනීම එතරම් අපහසු නැත. කෙසේ වෙතත් මෑත කාලයේදී නව යොවුන් ක්‍රීඩිකාවන් රැසක් ටෙනිස් පිටියේ ඉහළට පැමිණීම හේතුවෙන් එය තරමක අපහසු ඉලක්කයක් ද වනු ඇතැයි විචාරකයෝ කියති.

“ඇය තවමත් සෙරීනා විලියම්ස්ම තමයි. ඇය සිය ඉලක්කය වෙත යාවි” යයි කියන්නේ හිටපු ක්‍රීඩිකා කැරොලිනා ග්‍රේසියාය.

“කවුරුත් කැමැතියි ග්‍රෑන්ඞ් ස්ලෑම් අවසන් තරගයකට පිවිසෙන්න.” සෙරීනා හමුවේ ක්‍රීඩා කළ තරග 3ම පරාජයට පත්වූ මේ ක්‍රීඩිකාව එසේ කියන්නීය.

“වැඩිම ග්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතා දිනූ ක්‍රීඩිකාවගේ වාර්තාව සම කිරිමට හෝ අභිබවා යාමට සෙරීනාට පසුගිය වසරේදි ලැබුණු අවස්ථා දෙකේදිම ඇය පරාජයට පත්වුණා. ඒත් මං හිතන්නේ ඇයට තවමත් ඒක කරන්න පුළුවනි. නමුත් ඇයට සෑහෙන වෙහෙසක් දැැරීමට සිදුවේවි. මොකද ඇය වගේම හැමෝම ග්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතා පිපාසයෙනුයි ඉන්නේ” යයිද කැරොලිනා කීවාය.

මාස 14ක මාතෘ විවේකයෙන් පසුව සෙරීනා පසුගිය වසරේ මාර්තුවේදී ලෝක ටෙනිස් ක්‍රීඩකයන්ගේ සංගමයේ තරගාවලි සංචාරයට එක්වූ අතර සති කිහිපයකට පසුව නැවතත් පිටියෙන් ඉවත්වීමට සිදුවූයේ දරු ප්‍රසූතියෙන් පසුව පූර්ණ සුවය ලැබීමට පෙර නැවත ක්‍රීඩාවට එක්වීමෙන් ඇතිවූ විවිධ ආබාධ නිසාය. කෙසේවුවත් පසුගිය වසරේදී ඇය ග්‍රෑන්ඞ් ස්ලෑම් අවසන් මහා තරග දෙකකට සුදුසුකම් ලැබීමට සමත්වූවද ඒ දෙවතාවේදීම ඇයට සිදුවූයේ පරාජයට පත්වීමටය.

විම්බල්ඩන් අවසන් මහා තරගයේදී ඇය ජර්මනියේ ඇන්ජලික් කේබර් හමුවේ පරාජයට පත්වූ අතර ඊට මාස  දෙකකට පසුව පැවැති අමෙරිකානු විවෘත තරගාවලියේ අවසන් මහා තරගයේදී ජපානයේ නයෝමි ඔසාකා හමුවේ පරාජයට පත්වූවාය.

 

සැකසුම : මොහාන් ප්‍රනාන්දු


අදහස් (0)

සෙරීනා ලෝක වාර්තාව හඹා යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.