Last Update  :  2024-05-06 19:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සෙක්ස්ටන් ප්‍රංශයේ බලාපොරොත්තු දියකර හරී

සෙක්ස්ටන් ප්‍රංශයේ බලාපොරොත්තු දියකර හරී

Nisanka Sandeepani - 2018 පෙබ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජොනී සෙක්ස්ටන් අන්තිම මොහොතේ ගැසූ ඩ්‍රොප් ගෝලය නිසා සත්කාරක ප්‍රංශයේ බලාපොරොත්තු බිඳ දමමින් 2018 සය කොන් රග්බි ශූරතාවලියේ සිය පළමු තරගයෙන් ලකුණු 15-13 ක තියුණු ජයක් අත්කරගැනීමට අයර්ලන්තය සමත්විය.

සෙක්ස්ටන් විසින් බිඳ දමන ලද්දේ ප්‍රංශයේ ජාතික ක්‍රීඩාංගණයට සෙනසුරාදා (3 වැනිදා) එක්රොක් වූ ප්‍රංශ ක්‍රීඩා ලෝලීන් දහස් ගණනකගේ බලාපොරොත්තු පමණක් නොවේ. ප්‍රංශ කණ්ඩායමේ පුහුණුකරුවා ලෙස සිය පළමු තරගයම ජයගනිමින් අභිමානය රැකගැනීමට ජාක්ස් බෘනල්ගේ තිබූ බලාපොරොත්තු පොදියත් සෙක්ස්ටන් විසින් කුඩුපට්ටම් කරන ලදි. 

තරගය එහෙම පිටින්ම කණපිට හැරවූ සෙක්ස්ටන්ගේ ඩ්‍රොප් ගෝලය වාර්තාවූයේ තරගයේ නියමිත කාලය අවසන් වෙද්දී ප්‍රංශය ලකුණු 13- 12 කින් ජයග්‍රහණය පෙනි පෙනී සිටියදී ලැබුණු අතිරේක කාලය තුළදීය.

ඒ වනවිට සත්කාරකයන් සිතා සිටියේ ඔවුන්ගේ වින්ග් ක්‍රීඩක ටෙඩී තෝමස් අන්තිම මොහොතේ තැබූ විශිෂ්ට උත්සාහක දිනුම තරගයේ තීරණාත්මක සිදුවීම බවට පත්වනු ඇති බවකි. එහෙත් ඒ වෙද්දී දඬුවම් පහර 4 කටම හිමිකම් කියමින් සිටි සෙක්ස්ටන්ට තිබුණේ වෙනත් අරමුණකි. 

තෝමස්ගේ අනගි උත්සාහක දිනුමට පෙර පිට පිට දඬුවම් පහර දෙකක් සාර්ථක කරගත් මැක්සිම් මැචනොඞ්ට පින්සිදුවන්නට ප්‍රංශ කණ්ඩායම ලකුණු 6ක් රැස් කරමින් ආගන්තුකයන්ට කදිම අභියෝගයක් එල්ල කරමින් සිටියේය.

එතෙක් අයර්ලන්තයට වඩා පසුපසින් සිටි ප්‍රංශයට තරගයේ පෙරමුණ අත්වූයේ තෝමස්ගේ උත්සාහක දිනුම ගෝලයක් බවට ප්‍රවර්තනය කිරිමට ඇන්තෝනි බෙලොස් සමත්වීමත් සමගය. 

තරගයේ පළමු භාගයේ සිටම සත්කාරයන්ට පළමු මීටර් 22න් මෙහාට එන්නට ඉඩ නොතැබූ අයර්ලන්ත කණ්ඩායම ලකුණු 6-0 කින් වේලාසනින්ම පෙරමුණ ගෙන සිටියේ සෙක්ස්ටන්ගේ දඬුවම් පහර ද්විත්වය නිසාය. 

ප්‍රංශ කණ්ඩායමේ විශාලතම බලාපොරොත්තුවක් වූ 19 හැවිරිදි යොවුන් ක්‍රීඩක මැතිව් ජලිබර්ට් තරගය ආරම්භවී පැය භාගයක් ඇතුළත දණහිසේ ආබාධයකට ලක්වීම නිසා පිටියෙන් ඉවත්වීම කණ්ඩායමේ පසුබෑමට හේතුවක් විය.

ඒ නිසාම ඔහු වෙනුවට පිටියට පිවිසි බෙලොස්ට  වැඩි රාජකාරියක් කරපින්නා ගැනීමට සිදුවී තිබිණි. කෙසේවෙතත් තමාට ලැබුණු පළමු දඬුවම් පහර මඟ හරවා ගත් සෙක්ස්ටන්ගෙන් මෙවැනි දස්කමක් ප්‍රංශය බලාපොරොත්තු වූයේ නැත. 

ප්‍රංශය ඉදිරියට දැමූ තෝමස්ගේ උත්සාහක දිනුම වාර්තා වූයේ සෙක්ස්ටන්ගේ ඉලක්ක කිහිපයක්ම වැරැදීමෙන් පසුවය. කෙසේවෙතත් ප්‍රංශය අවසන් මොහොතේ පෙරමුණ ගන්නා විට දඬුවම් පහර 4ක් සාර්ථක කරමින් අයර්ලන්තයට ලකුණු 12 ක් අත්කර දී සිටි සෙක්ස්ටන්ට තමා අතින් මඟ හැරී ගිය පළමු දඬුවම් පහරේ වේදනාව ඉතා තදින් දැනෙන්නට පටන් ගෙන තිබිණි.

අන්තිමේදී ඔහුගේ වේදනාව ඩ්‍රොප් ගෝලයත් සමග මැකී ගියේ අයර්ලන්තයට විශිෂ්ට ජයක් අත්කර දෙමිනි. 

රටවල් හයේ රග්බි ශූරතාවලියේ ඊළඟ සති අන්තයේදී ප්‍රංශ කණ්ඩායම ස්කොට්ලන්තයේ සංචාරය කිරීමට නියමිත අතර ඉතාලියට සත්කාරකත්වය දැක්වීමට අයර්ලන්තය සූදානමින් සිටී.

077


අදහස් (0)

සෙක්ස්ටන් ප්‍රංශයේ බලාපොරොත්තු දියකර හරී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.