
අඟහරුවාදා (7 වැනිදා) තරගය පැවැතියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ රාජස්තාන් රෝයල්ස් පිල අතර වූවත්, තරගයට පෙර සිටම, බොහෝ දෙනා එය හැඳින්වූයේ ජස්ප්‍රීට් බුම්රා සහ වෛභාව් සූර්යවංශි අතර තරගයක් ලෙසිනි. සැබවින්ම එය කදිම හැඳින්වීමක් ද විය.
ලෝකයේ කවර අස්සක හෝ මුල්ලකදී වුවත් පැවැත්වෙන විස්සයි-20 තරගයක් වෙනුවෙන් යොදාගත හැකි, දැනට ලෝකයේ සිටින හොඳම පන්දු යවන්නා ජස්ප්‍රීට් බුම්රා යයි ඕනෑතරම් තර්ක ඉදිරිපත් කළ හැකිය. අනෙක් අතට, තවමත් ඉන්දීය ජාතික කණ්ඩායම නියෝජනය කර නැතත්, වෛභාව් සූර්යවංශි යනු විස්සයි-20 තරග සඳහා දැනට ලෝකයේ සිටින හොඳම යොවුන් පිතිකරුවා යයි ද තර්ක කළ හැකිය.
ජස්ප්‍රිත් බුම්රා සහ වෛභාව් සූර්යවංශි මුහුණට මුහුණ මුණගැසුනු මංගල තරගය ඊයේ (7 වැනිදා) ඇසෑම් ප්‍රාන්තයේ ගුවහටි නුවරදී පැවැති අතර මෙම තරගයේදී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ලකුණු 27 ක ජයක් අත්කර ගත්තේය. රාජස්තානයේ ආරම්භක පිතිකරු යශස්වී ජයිස්වාල් පන්දු 32 කින් ලබාගත් ලකුණු 77 මෙම ජයග්‍රහණයේ පදනම වූවත් බොහෝ දෙනාගේ මාතෘකාව වූයේ වෛභාව් සූර්යවංශි පන්දු 14 කින් ලබාගත් ලකුණු 39 යි. සූර්වයංශිගේ ප්‍රවේගය (ප්‍රහාරාත්මක වේගය) ලකුණු 278.57 ක් වූ අතර තරගයේ විස්තර විචාරයේ දෙසී සිටි ඩේල් ස්ටේන් එය විස්තර කළේ “සූර්යවංශි පන්දු යවන්නන්ට භීතිය කැඳවනවා” යනුවෙනි.
ලෝකයේ හොඳම පන්දු යවන්නා ලෙසින් සැලකනෙ ජස්ප්‍රීට් බුම්රාට මුහුණ දුන් මුල්ම අවස්ථාවේදී හයේ පහර දෙකකින් ඔහුට සංග්‍රහ කිරීමට වෛභව් සූර්යවංශි පසුබට නොවීය.
වර්ෂාව හේතුවෙන් ප්‍රමාද වූ තරගය ආරම්භ වූවාට පසුව එය කණ්ඩායමකට ඕවර 11 කට සීමා කෙරිණ.
දීපාක් චහාර් යැවූ පළමු ඕවරයට තනිවම මුහුණ දුන් යශස්වී ජයිස්වාල් 4, 6, 4, 0, 4, 4 ලෙසින් පන්දු 6 කින් ලකුණු 22 ක් උදුරාගත්තේය. ඊළඟ ඕවරය යැවීමට පන්දුව අතට ගත් ජස්ප්‍රීට් බුම්රාට මුහුණ දීමට සූර්වංශි සූදානමින් සිටියේය. පැයට කිලෝ මීටර 131.2 ක වේගයකින් යුතුව, මැද ඉන්නත්, පා ඉන්නත් අතරේ පතිත වූ පන්දුවට සූර්යවංශිගෙන් ලැබුණේ ආයාසයෙන් තොර පහරකි. පන්දුව මිඩි විකට් කලාපයට ඉහලින් ඉගිළී ලකුණු 6 ක් සටහන් කළේය.
බුම්රා - සූර්යවංශි හමුවේ ආරම්භය සනිටුහන් වූයේ එලෙසිනි.
ලෝක කුසලාන දෙකකටම හිමිකම් කියන, පළපුරුදු පන්දු යවන්නකු වන බුම්රා, කෝප නොවී, මන්දස්මිතයකින් පිතිකරුවාගේ දස්කම අගය කළේය. ලකුණු 14 ක් පිරිනැමීමෙන් බුම්රා සිය ඕවරය අවසන් කළ අතර ඊළඟ ඕවරය යැවූ නවසීලන්තයේ ටේරන්ට් බෝල්ට්ගේ පළමු පන්දු 4 න් තුනකට හයේ පහර 3 ක් වැදිණ.
ජයිස්වාල් සහ සූර්යවංශි එක්ව පන්දු 16 කින් ලකුණු 50 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ අතර මුම්බායි කණ්ඩායමේ සියලුම පන්දු යැවීමේ විකල්ප ඒ වන විටත් අවසන් වී තිබිණ. ඕවර 5 කින් ලකුණු 80 ක් පුවරුවට එක්කළ පිතිකරුවන් දෙදෙනා අතර සම්බන්ධතාව, තවත් හයේ පහරකට සූර්යවංශි ගත් උත්සාහය හමුවේ බිඳී ගියේය.
හයවැනි ඕවරය යැවූ ශර්දුල් ඨාකූර්ගේ පන්දුවකට සූර්යවංශි ගැසූ පහරකින්, හතරේ සීමාව ආසන්නයේ සිට රැකගත් උඩපන්දුවක් නිසා සූර්යවංශි දැවී යන විට ඔහු පන්දු 14 කින් ලකුණු 39 ක් ලබා සිටියේය. ඊට හතරේ පහර 1 ක් සහ හයේ පහර 5 ක් ඇතුළත්ව තිබිණ.
මුම්බායි ඉන්දියන් පන්දු යවන්නෝ සැනසුම් සුසුම් හෙළුෑහ. එහෙත් ඔව්හු තරගය පරාජය වූහ.
රාජස්තාන් රෝයල්ස් - ඕවර 11 කදී කඩුලු 3 ට 150 යි
මුම්බායි ඉන්දියන්ස් - ඕවර 11 කදී කඩුලු 9 ට 123 යි
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.