Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සුලෝහිත සංග්‍රාමය පිතිකරුවන්ගේ අණසකට නතුවෙයි
94 වැනි සුලෝහිත සංග්‍රාමය

සුලෝහිත සංග්‍රාමය පිතිකරුවන්ගේ අණසකට නතුවෙයි

editorial - 2024 මාර් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

(දමින්ද විජේසූරිය)

දිවයිනේ ප්‍රධානතම බෞද්ධ පාසල් දෙකක් වන ආනන්ද සහ නාලන්දා විද්‍යාල අතර 94 වැනි වරටත් පැවැති සුලෝහිත සංග්‍රාමය ඊයේ (3 වැනිදා) කොළඹ එස්.එස්.සී. පිටියේදී ජය පරාජයෙන් තොරව අවසන් විය. පිතිකරුවන්ගේ දක්‍ෂතා ඉස්මතු කරමින් පැවැති මෙවර මහ තරගයේදී නාලන්දාවේ නායක සජිත විතානගේ (නොදැවී 100) සහ ආරම්භක පිතිකරු සදෙව් සමරසිංහ (84) මෙන්ම ආනන්දයේ දිනාද අතලගේ (71) සහ කිත්ම විදානපතිරණ (76) පිත්තෙන් හොඳ දස්කම් දැක්වූහ.

ඔවුන් අතුරින් පසුගිය වසරේදී ශතකය පෙනි පෙනී දැවී ගිය කිත්ම විදානපතිරණ මෙවර තරගයේදීත් අර්ධ ශතකයක් ලබාගත්තේය.

පළමුවෙන් පන්දුවට පහර දුන් නාලන්දා පිල වෙනුවෙන් සජිත විතානගේ (නොදැවී 100) සහ ආරම්භක පිතිකරු සදෙව් සමරසිංහ (84) එක්ව ගොඩනැංවූ සම්බන්ධතා දෙකක් මත නාලන්දීයයෝ පළමු දිනය අවසානයේදී ශක්තිමත්ව සිටගත්හ. නාලන්දාව සිය මුල් ඉනිම වෙනුවෙන් කඩුලු 8 ක් දැවී ලකුණු 277 ක් ලබාගත් අතර පළමු දිනය නිමාවන විට ආනන්දය සිය මුල් ඉනිම වෙනුවෙන් කඩුලු 2 ක් දැවී ලකුණු 55 ක් ලබා සිටියේය.

දෙවැනි දිනයේදී දිනාද අතලගේ (71) සහ කිත්ම විදානපතිරණ (76) දෙදෙනාගේ පිතිහරඹයට ස්තුති වන්නට, ආනන්දීයයෝ මුල් ඉනිමේ වාසිය අත්කර ගත්හ. දිනාද අතලගේ සහ අශිංස නයිනායක එක්ව තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 71 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ අතර කිත්ම විදානපතිරණ පිටියෙන් ඉවත්ව යන විට ආනන්දයේ ලකුණු සංඛ්‍යාව නාලන්දාවේ එකතුවට වඩා ලකුණු 3 ක් මෑතින් තිබිණ. දෙපිලේම පළමු ඉනිම දෙක නිමාවන විට ඕවර 160 ක් අවසන් වී තිබුණු අතර තරගයේ විසඳුමක් ලබාගැනීමට ඉතිරි කාලය කෙසේවත් ප්‍රමාණවත් නොවිණ.

කාසියේ වාසිය දිනාගත් ආනන්ද නායකයා පළමුවෙන් පන්දු යැවීම තෝරාගත් අතර ලකුණු 56 ක් වෙද්දී නාලන්දාවේ කඩුලු 3 ක් බිඳ වැටී තිබිණ. එහෙත් නායක සජිත විතානගේ සමගින් එක්වූ ආරම්භක පිතිකරු සදෙව් සමරසිංහ සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 90 ක සම්බන්ධතාවක් ගොඩ නැංවූයේය. ආනන්දයේ අශිංස නයිනායකගේ පන්දුවක් හමුවේ කිත්ම විදානපතිරණ විසින් රැකගන්නා ලද අති විශිෂ්ට උඩපන්දුවකින් සමරසිංහ දැවී යන විට ඔහුගේ පන්දු 141 ඉනිම හතරේ පහර 11 කින් අලංකාර වී තිබිණ.

එතැන් සිට ඔසඳ පමුදිත (31) සමගින් එක්වූ නායක සජිත විතානගේ ලකුණු රැස්කිරීමේ වැඩි වගකීම තමන් වෙත පවරා ගනිමින් පස්වැනි කඩුල්ල සඳහා තවත් ලකුණු 104 ක සම්බන්ධතාවක් පැවැත්වීය. තම ශතකය සම්පූර්ණ කිරීමෙන් පසුව නාලන්දා ඉනිම අත්හිටුවන විට පන්දු 179 කට මුහුණ දී සිටි විතානගේ ඒවායින් 10 ක් හතරේ සීමාවෙන් එපිටට යැව්වේ දෙකක් ලණුවට උඩින් යවමින් නාලන්දීයයන් මෙන්ම ආදි නාලන්දීයයන් ද කුල්මත් කරමිනි.

 

නාලන්දා විද්‍යාලය - පළමු ඉනිම කඩුලු  8 ට 277 යි. 
(සදෙව් සමරසිංහ 84, මනූප මන්මිත 24, සජිත විතානගේ නොදැවී 100, ඔසඳ පමුදිත 31, කවීෂ මෙන්ඩිස් 47/2, ආශිංස නයිනායක 80/3, යසඳු කිරිඇල්ල 33/2)

ආනන්ද විදුහල - පළමු ඉනිම කඩුලු 9 ට 286  යි
(කාංචන ද ලිවේරා 33, දිනාද අතලගේ නොදැවී 71, අශිංස නයිනායක 31, ඉරුත් ගිම්ශාන් 22, කිත්ම විදානපතිරණ 76, ඔසඳ පමුදිත 29/3, සනිතු විජේරත්න 43/2)

නාලන්දා විදුහල - දෙවැනි ඉනිම කඩුලු 4 ට 120 යි 
(සදෙව් සමරසිංහ 43, මනූප මන්මිත 41, සජිත විතානගේ නොදැවී 15, කවීෂ මෙන්ඩිස් 24/2)

ආනන්ද විදුහල - දෙවැනි ඉනිම කිසිවකු නොදැවී 00 යි.

 

(ඡායාරූප - එම්.ඒ. පුෂ්පකුමාර)


අදහස් (0)

සුලෝහිත සංග්‍රාමය පිතිකරුවන්ගේ අණසකට නතුවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.