Last Update  :  2024-04-29 19:59:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සීමිත ඕවර සංචිතයට දසුන් යළි කැඳවයි

සීමිත ඕවර සංචිතයට දසුන් යළි කැඳවයි

editorial - 2023 දෙසැ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

සිම්බාබ්බේ කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත සීමිත ඕවර තරගාවලිය සඳහා තෝරාගන්නා ලද 20 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයට හිටපු නායක දසුන් ශානක නැවතත් කැඳවා තිබේ. පසුගිය ලෝක කුසලාන තරගාවලිය සඳහා ඉන්දියාව බලා පිටත්ව යද්දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා වූ දසුන් ශානක, දැඩි අසාර්ථකත්වය හේතුවෙන් තරග දෙකකින් පසුව නායකත්වය පමණක් නොව කණ්ඩායමේ සාමාජිකත්වය ද අහිමි කරගත්තේය. 

2023 වසර පුරාම එක්දින තරග 24 කදී ඉනිම 20 ක් සඳහා පිටියට පිවිසි දසුන් ශානක ලකුණු 338 ක් ලබාගෙන ඇතත් එම එම කාලසීමාවේදී ලබාගත් ශතකය සහ අර්ධ ශතකය ඉවත් කළ කල්හි ඉතිරි ඉනිම 18 න් ලබාගෙන ඇත්තේ ලකුණු 162 කි. කණ්ඩායමේ සෙසු පිතිකරුවන්ගේත් දැඩි අසාර්ථකභාවය නිසාම නායකයකු වශයෙන් වන්දි ගෙවූ දසුන් පසුගිය ලෝක කුසලාන තරගාවලියේදී කණ්ඩායමෙන් ඉවතට විසිවන්නේ තමන්ගේ අවසන් එක්දින අන්තර්ජාතික ඉනිම දෙකේදී ලකුණු 68 ක් සහ 12 ක් ලබාගැනීමෙන් පසුවය. 

ලෝක කුසලාන තරගාවලියේදී ආබාධයකට ලක්වූයේ යයි කියමින් ශ්‍රී ලංකා කණ්ඩායමෙන් සහ නායකත්වයෙන් ඉවත් කරන ලද දසුන් එතැන් සිට මාසයකට වැඩි කලක් කණ්ඩායමේ රැඳී සිටියද, සුවය ලැබීමෙන් පසුව හෝ නැවත කණ්ඩායමට එක්වීමට අවස්ථාවක් නොලැබීය. 

මේ දිනවල පැවැත්වෙන අන්තර් ක්‍රීඩා සමාජ (ප්‍රධානතම) එක්දින තරගාවලියේදී නැවතත් ලකුණු අතරට පැමිණි දසුන් ශානක එහිදී අර්ධ ශතක තුනක් ද සමගින් තරග 7 කදී ලකුණු 253 ක් ලබා සිටී. කෙසේ වෙතත් තේරීම් කමිටු නිලධාරීන්ගේ හිස ගිණිගෙන ඇති ප්‍රශ්නය වන්නේ ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් කළ නවක පිතිකරුවන් ද සලකා බැලීමේදී දසුන් ශානක පිටියට එවන්නේ පිතිකරු ලයිස්තුවේ කොතැනින් ද යන්නයි. 

ක්‍රීඩකයන් 20 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය තෝරාගනු ලැබ ඇත්තේ සිම්බාබ්වේ පිලට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලිය ඉලක්ක කරගනිමිනි. ඊට ඇතුළත්ව සිටින කුසල් මෙන්ඩිස් එක්දින කණ්ඩායමේ නායකයා ලෙසත් වනිඳු හසරංග විස්සයි-20 කණ්ඩායමේ නායකයා ලෙසත් පත්කිරීමට නියමිතය. 

පසුගිය ලෝක කුසලාන තරගාවලියට ඇතුළත් නොවූ අවිශ්ක ප්‍රනාන්දු, නුවනිඳු ප්‍රනාන්දු, ජනිත් ලියනගේ, කමිඳු මෙන්ඩිස්, අකිල ධනංජය සහ චාමික ගුණසේකර මෙම සංචිතයට ඇතුළත්ව සිටිති. ලෝක කුසලාන තරගාවලියේදී ක්‍රීඩා නොකළ වනිඳු හසරංග සිය දණහිසේ ආබාධයට ප්‍රතිකාර ලැබීමෙන් පසුව, ක්‍රමයෙන් සුවය ලබමින් සිටින අතර මේ වන විට දිවීම ආරම්භ කර ඇතැයි දැනගන්නට තිබේ. 

කෙසේ වෙතත් තෝරාගන්නා ලද 20 දෙනකුගෙන් සමන්විත සංචිතය තවමත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නිල වශයෙන් ප්‍රකාශයට පත්කර නැත. 

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර එක්දින තරගාවලිය ජනවාරි මස 6 වැනිදා ආරම්භ වෙයි. 


ක්‍රීඩා ඇමතිවරයා වෙත යවා ඇතැයි කියැවෙන ශ්‍රී ලංකා සංචිතය
කුසල් මෙන්ඩිස් (නායක), පැතුම් නිස්සංක, අවිශ්ක ප්‍රනාන්දු, නුවනිඳු ප්‍රනාන්දු, චරිත් අසලංක, සධීර සමරවික්‍රම, වනිඳු හසරංග, දසුන් ශානක, චාමික කරුණාරත්න, දුනිත් වෙල්ලාලගේ, ජනිත් ලියනගේ, කමිඳු මෙන්ඩිස්, මහීෂ් තීක්‍ෂණ, ජෙෆ්රි වැන්ඩසේ, අකිල ධනංජය, ප්‍රමෝද් මධුශාන්, දුෂ්මන්ත චමීර, ඩිල්ෂාන් මධුශංක, චාමික ගුණසේකර සහ අසිත ප්‍රනාන්දු

 


අදහස් (0)

සීමිත ඕවර සංචිතයට දසුන් යළි කැඳවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.