Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සී.ආර්. ක්‍රීඩකයෝ ශූරතාව දිනාගනිති
පිළිමළුන් පිටුදැකීමේ රග්බි

සී.ආර්. ක්‍රීඩකයෝ ශූරතාව දිනාගනිති

editorial - 2023 මාර් මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කළ 2023 අන්තර් සමාජ පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ ශූරතාව දිනාගැනීමට සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය අද (5 වැනිදා) සමත් විය. නාවික හමුදාවට හමුදාවට එරෙහිව පැවැති අවසන් මහ තරගයේදී ලකුණු 24-18 ක ජයක් වාර්තා කරමින් සී.ආර්. ක්‍රීඩකයෝ ශූරතාවට හිමිකම් කීහ. 

කොළඹ රීඩ් මාවත ක්‍රීඩා සංකීර්ණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 10-09 ක් ලෙස සී.ආර්. කණ්ඩායම පෙරමුණ ගත්තේය. දෙවැනි අර්ධයේදී නාවික හමුදාව තවත් ලකුණු 9 ක් රැස්කරද්දී, සී.ආර්. කණ්ඩායම ලකුණු ලකුණු 14 ක් රැස්කරමින් තරගයේ ජයග්‍රහණය තහවුරු කරගත්තේය. 

අවසන් තරගය අතිශය තියුණු මුහුණුවරක් ගත් අතර එහිදී කණ්ඩායම් දෙක වරින් වර පෙරමුණ හුවමාරු කරගනිමින් තරග වැදිණ. අවසන් විනාඩි 5 ආරම්භ වන විට ලකුණු තත්වය 19-18 ක් ලෙස පැවැති අතර සී.ආර්. කණ්ඩායම එක් ලකුණකින් පෙරමුණේ පසුවිය. කෙසේ වුවත් තරගය නිමා වීමට විනාඩියක් ඉතිරිව තිබියදී, උත්සාහක දිනුමක් ලබාගත් සී.ආර්. ක්‍රීඩකයෝ පරතරය වැඩි කරගනිමින් ජයග්‍රහණය කරා ගියහ. 

පළමු අර්ධයේදී ගෝල දිනුමක් සහ දඬුවම් පහරක් මගින් ලකුණු රැස්කළ සී.ආර්. ක්‍රීඩකයෝ, දෙවැනි අර්ධයේදී උත්සාහක දිනුමක් සහ දඬුවම් පහර 3 ක් මගින් ලකුණු රැස්කළහ. පළමු අර්ධයේදී දඬුවම් පහර 3 ක් මගින් ලකුණු ලබාගත් නාවික හමුදාව, දෙවැනි අර්ධයේදී ලකුණු ලබාගත්තේද දඬුවම් පහර 3 ක් මගිනි. 

මොහොන් චතුර 13 වැනි විනාඩියේදීද, ළහිරු පවිත්‍ර 79 වැනි විනාඩියේදීද සී.ආර්. කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිනුම් ලබාගත්හ. ඉන් එක් ප්‍රවර්ථනයක් සහ සී.ආර්. කණ්ඩායමට හිමිවූ දඬුවම් පහර 4 න් 3 ක් සාර්ථක කරගැනීමට මොහොන් චතුර සමත් විය. සෙසු දඬුවම් පහර සාර්ථක කරගනු ලැබුවේ තේනුක නානායක්කාර විසිනි. 

නාවික හමුදා කණ්ඩායම ලකුණු රැස්කළ දඬුවම් පහර 6 න් 4 ක්ම සාර්ථක කරගැනීමට සැමුවෙල් මධුවන්ත සමත් වූ අතර සෙසු දඬුවම් පහර දෙක සාර්ථක කරගනු ලැබුවේ තිළිණ වීරසිංහ විසින්ය.  සී.ආර්. කණ්ඩායමේ ළහිරු පවිත්‍ර තරගයේ 43 වැනි විනාඩියේදී විනිසුරුගේ දැඩි අවවාද සමග කහ පැහැති කාඩ්පතක් ලැබීය. 

මෙම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස නිපෝන් පේන්ට් සමාගම කටයුතු කළ අතර වෙබෙක්ස්පේ සහ සිද්ධාලේප සෙසු අනුග්‍රාහකයන් ලෙස තරගාවලියට එක්ව සිටියහ. 

(ඡායාරූප - කුෂාන් පතිරාජ)


අදහස් (0)

සී.ආර්. ක්‍රීඩකයෝ ශූරතාව දිනාගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.