
අළු බඳුන තරගාවලියට මුල පුරමින් ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර ඔප්ටස් ක්‍රීඩාංගණයේදී අද (21 වැනිදා) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයේදී එංගලන්තය ලකුණු 172 කට දැවී ගියේය. ඊට සාර්ථක පිළිතුරක් දුන් එංගලන්ත පන්දු යවන්නෝ දිනය අවසන් වීමට පෙර ලකුණු 123 ක් ඇතුළතදී ඕස්ට්‍රේලියානුවන්ගේ කඩුලු 9 ක් බිම දමා ගත්හ.
ස්ටාක් එංගලන්ත ඉනිම විනාශ කරද්දී බෙන් ස්ටෝක්ස් ඕස්ට්‍රේලියානු පිතිකරුවන් නන්නත්තාර කළේය. තරගයේ පළමු දිනයේදී පමණක් බිඳ වැටුණු කඩුලු සංඛ්‍යාව 19 කි.
තරගාවලියට කදිම ප්‍රවේශයක් ලබාගත් මිචෙල් ස්ටාක් ලකුණු 58 කට කඩුලු 7 ක් දවා ගනිමින් එංගලන්ත ඉනිම විනාශ කරද්දී, 35 හැවිරිදි වමත් වේග පන්දු යවන්නා හමුවේ සංචාරකයන් වැඩි දෙනකුට කට උත්තර නැතිවිය. ස්ටාක් ඕවර 12.5 කින් කඩුලු 7 ක් දවාගත් අතර අළු බඳුනේ කෝඩුකාරයා වන බ්‍රෙන්ඩන් ඩොගෙට් ලකුණු 27 කට කඩුලු 2 ක් දවා ගත්තේය.
හැරී බෲක් (52) සහ ඔලී පෝප් (46) දෙදෙනා පමණක් ස්ටාක් හමුවේ අභීතව පිති හැසිරවූ නමුත් ඉලක්කම් දෙකකින් ලිවිය හැකි ලකුණු සංඛ්‍යාවට ළඟා වූයේ ක්‍රීඩකයින් හතර දෙනෙකු පමණි.
ඕස්ට්‍රේලියානුවන්ටත් සැනසීමෙන් පන්දුවට පහර දීමට බෙන් ස්ටෝක්ස් සහ සෙසු වේග පන්දු යවන්නෝ අවසර නොදුන්හ.
ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට හඳුන්වාදුන් ජේක් වෙදරල්ඩ් මුහුණ දුන් දෙවන පන්දුවේදීම ජොෆ්රා ආචර්ගේ හෙණ සැරයක් වන් පන්දුවක් හමුවේ දැවී ගියේය. ආචර්ගේ පන්දුව පා අවාරණයේ වැදීමත් සමගින් වෙදරල්ඩ් බිම ඇද වැටුණු අතර කඩුල්ල මුවා කළ බවට කළ ඉල්ලීම විනිසුරුවරයා ප්‍රතික්ෂේප කළේය. එහෙත් රූපවාහනී විනිසුරුවරයාගේ මතය විමසීමෙන් තහවුරු වූයේ වෙදරල්ඩ් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවූ බවයි.
ජොෆ්රා ආචර් (11/2) සහ බ්‍රයිඩන් කාර්ස් (45/2) පළමු කඩුලු හතරටම වගකී අතර සිව්වැනි කඩුල්ල බිඳ වැටෙන විටත් ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුවේ තිබුණේ ලකුණු 31 කි. පසුව පන්දුව අතට ගත් බෙන් ස්ටෝක්ස් (23/5) පිටියට එන එන ඕස්ට්‍රේලියානු පිතිකරුවාව ඉක්මනින්ම ආපසු ක්‍රීඩාගාරයට යැවීය.
පර්ත් නුවර ඔප්ටස් ක්‍රීඩාංගණයේදී කලින් පැවති ටෙස්ට් තරඟ පහම ජයග්‍රහණය කර ඇත්තේ පළමුවෙන් පන්දුවට පහර දුන් කණ්ඩායමයි.
එංගලන්තය - පළමු ඉනිම 172 යි
(බෙන් ඩකට් 21, ඔලී පෝප් 46, හැරී බෲක් 52, ජැමී ස්මිත් 33, මිචෙල් ස්ටාක් 58/7, බ්‍රෙන්ඩන් ඩොගට් 27/2)
ඕස්ට්‍රේලියාව - පළමු ඉනිම කඩුලු 9 ට 123 යි
(ස්ටීවන් ස්මිත් 17, ට්‍රැවිස් හෙඩ් 21, කැමරන් ග්‍රීන් 24, ඇලෙක්ස් කේරි 26, මිචෙල් ස්ටාක් 12, ජෙෆ්රා ආචර් 11/2, බ්‍රයිඩන් කාර්ස් 45/2, බෙන් ස්ටෝක්ස් 23/5)
- 213

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.