Last Update  :  2026-02-09 17:59:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ස්කොට්ලන්තයට ලකුණු 73 ක දැවැන්ත ජයක්
විස්සයි-20 ලෝක කුසලාන

ස්කොට්ලන්තයට ලකුණු 73 ක දැවැන්ත ජයක්

editorial - 2026 පෙබ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ස්කොට්ලන්තය ලෝක කුසලාන තරගාවලියට පැමිණියේ බංග්ලාදේශය ලෝක කුසලාන තරගාවලිය වර්ජනය කිරීම හේතුවෙනි. එහෙත් ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන තවත් කණ්ඩායම් කිහිපයකටම වඩා ශ්‍රේණිගත ලයිස්තුවේ ඉහළින් (15 වැනි ස්ථානයේ) සිටින ස්කොට්ලන්තය, තමන්ගේ තරම කුමක්ද යන්න අද පැවැති තරගයේදී පෙන්වා දුන්නේය. 

ලෝක කුසලාන තරගාවලියේ මුහුණ දුන් දෙවැනි තරගයේදී ඉතාලිය පරදවා ලකුණු 73 ක ජයක් අත්කරගත් ස්කොට්ලන්තය, මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ලකුණු 200  කඩඉම පසුකර ගිය පළමු කණ්ඩායම ලෙසින් ද වාර්තා පොතට එක්විය. ස්කොට්ලන්තය කඩුලු 4 ක් දැවී ලබාගත් ලකුණු 207 ට පිළිතුරු වශයෙන් ඉතාලියට ලබාගත හැකිවූයේ ලකුණු 134 කි. 

තරගයේ 13 වැනි ඕවරයේදී කඩුලු 3 කට ලකුණු 113 ක් ලබා සිටි ඉතාලියේ අවසන් කඩුලු 6 ම ලකුණු 21 ක් තුළ ඇද වැටිණ. ඉතාලිය මෙවර ලෝක කුසලාන තරගාවලියේ කෝඩුකාරයන් වන අතර මෙම තරගය ලෝක කුසලාන තරගාවලියකදී ඉතාලිය සහභාගි වූ මංගල තරගයයි. 

තරගයේ සිව්වැනි ඕවරයේදීම ඉතාලි නායක වේන් මැඩ්සන් පිටියේ ඇද වැටීම හේතුවෙන් ඔහුගේ වම් උරහිස විසන්ධි වූ අතර මැඩ්සන් පන්දුවට පහරදීමට පැමිණියේ නැත. 

කාසියේ වාසිය දිනාගත් ඉතාලිය පළමුවෙන් පන්දු යැවීම තෝරාගත් නමුත් ස්කොට්ලන්තයෙන් එල්ල වූයේ අනපේක්‍ෂිත ප්‍රහාරයකි. ඉතාලියේ ඉරණම වඩාත් දරුණු වූයේ 6 වැනි ඕවරයේ අවසන් පන්දුවේදී ජෝර්ජ් මන්සිගේ උඩපන්දුවක් ඇන්තනි මොස්කා වෙතින් ගිළිහී යාමෙනි. ඒ වන විට ස්කොට්ලන්තය කිසිවකු නොදැවී ලකුණු 49 ක් ලබා සිටියේය. 

ලැබුණු වාසනාවෙන් උපරිම ප්‍රයෝජන ගත් ජෝර්ජ් මන්සි, පන්දු 30 කින් සිය අර්ධ ශතකය සම්පූර්ණ කළ අතර මන්සි සහ මයිකල් ජෝන්ස් දෙදෙනා අතර පළමු කඩුල්ල වෙනුවෙන් පැවැති සම්බන්ධතාව ලකුණු 126 ක් විය. 

මන්සිගේ දැවීයාමෙන් පසුව පැමිණි බ්‍රෙන්ඩන් මැක්මුලන්, සිය ලකුණු ලබාගැනීම ආරම්භ කළේ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ක්‍රිෂාන් කළුගමගේ හමුවේ හයේ පහර දෙකක් ගැසීමෙනි. ඉතාලි පන්දු යවන්නන් තඹයකට මායිම් නොකරමින්, පන්දු 18 කින් ලකුණු 41 ක් ලබාගත් මැක්මුලන්, හයේ පහර 4 කින් සිය ඉනිම සරසාලීය. 19 වැනි ඕවරය ලකුණු 4 කට සීමා වූවත් ස්කොට්ලන්තය ලකුණු 200 කඩඉම පැන්නේ අවසන් ඕවරයේදී පැමිණි මයිකල් ලීස්ක් පන්දු 5 කින් ලබාගත් ලකුණු 22 හේතුවෙනි. 

දකුණතින් පා දඟ පන්දු යවන ක්‍රිෂාන් කළුගමගේ යැවූ ඕවර 3 න් ස්කොට්ලන්ත ක්‍රීඩකයෝ ලකුණු 32 ක් උදුරා ගත්හ. 

ඉතාලි ආරම්භක පිතිකරු ජස්ටින් මොස්කා මුහුණ දුන් පළමු පන්දුවේදී දැවී ගියේ බැක්වර්ඩ පොයින්ට්’ හි සිටි ජොර්ජ් මන්සි රැකගත් අති විශිෂ්ට උඩපන්දුවකිනි. කෙසේ වෙතත් ක්‍රිකට් ක්‍රීඩාවේදී ආධුනික බවක් නොපෙන්වූ ඉතාලියානුවෝ ඕවර 12 කින් ලකුණු 113 ක් ලබාගත්තේ විස්සයි-20 තරග වලට තමන් සූදානම් බව කදිමට කියා පාමිනි. සොහොයුරන් වන හැරී මනෙනි (37) සහ බෙන් මනෙනි (52) එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 73 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ අතර බෙන් ඉතාලිය වෙනුවෙන් පළමු වැනි අන්තර්ජාතික අර්ධ ශතකය ලබාගත් පිතිකරුවා ලෙසින් ඉතිහාසයට එක්විය. 

කෙසේ වෙතත්, අන්තර්ජාතික සීමිත ඕවර ක්‍රිකට් ක්‍රීඩාවේදී හොඳ පුරුදුකාරයකු වන මයිකල් ලීස්ක් (එක්දින තරග 91 ක් සහ විස්සයි-20 අන්තර්ජාතික තරග 76 ක්) හමුවේ ඉතාලියානුවෝ අසරණ වූහ. සිය ඕවර 4 ලකුණු 17 කට සීමාකරගත් මයිකල් ලීස්ක්, දිගින් දිගටම කඩුල්ල එල්ලයේ පන්දු යවමින් ඉතාලි පිතිකරුවන් සිව් දෙනකු ආපසු ක්‍රීඩාගාරයට යැවූයේ තරගයේ වීරයා සම්මානයත් මිටමොළවා ගැනීමට අවශ්‍ය හේතු කාරණ සපයා ගනිමිනි. 

 

ස්කොට්ලන්තය - ඕවර 20 කදී කඩුලු 7 ට 207 යි
(ජෝර්ජ් මන්සි 84, මයිකල් ජෝන්ස් 37, බ්‍රෙන්ඩන් මැකලම් නොදැවී 41, රිචී බැරිංග්ටන් 15, මයිකල් ලීස්ක් නොදැවී 22)

ඉතාලිය - ඕවර 16.4 කදී සියලු දෙනා දැවී 134 යි
(ඇන්තනි මොස්කා 13, ජේ.ජේ. ස්මට්ස් 22, හැරී මනෙනි 37, බෙන් මනෙනි 52, මයිකල් ලීස්ක් 17/4)

 - 213


අදහස් (0)

ස්කොට්ලන්තයට ලකුණු 73 ක දැවැන්ත ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.