Last Update  :  2026-02-08 22:06:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කමිඳු - කුසල් එක්ව සායම බේරා ගනිති
විස්සයි-20 ලෝක කුසලාන

කමිඳු - කුසල් එක්ව සායම බේරා ගනිති

editorial - 2026 පෙබ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

මෙන්ඩිස්ලා දෙදෙනාගේ (කමිඳු - 44 යි සහ කුසල් නොදැවී 56) අවසන් මොහොතේ ප්‍රහාරය හේතුවෙන් යන්තම් සායම බේරාගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ, කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (8 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගයේදී අයර්ලන්තය පරාජය කරමින් ලකුණු 20 ක ජයක් අත්කර ගත්හ. 

ශ්‍රී ලංකාව ලබාගත් ලකුණු 163 ට පිළිතුරු වශයෙන් අයර්ලන්ත ක්‍රීඩකයන්ට ලබාගත හැකිවූයේ ලකුණු 143 කි. අයර්ලන්ත ඉනිමේ අවසන් ඕවරයේදී ඔව්හු සියලු දෙනාම දැවී ගියහ. අන්තර්ජාතික තරග බිමේ අත්දැකීම් මඳ බව මොනවට විදහා පෑ අයර්ලන්ත පිතිකරුවෝ 8 දෙනෙක්, ලකුණු 38 ක් ඇතුළත, එකා පසුපස එකා දැවී ගියහ. 15 වැනි ඕවරය ආරම්භයේදී කඩුලු 2 කට ලකුණු 105 ක් ලෙසින් තිබූ ලකුණු පුවරුව, ඕවර 5 ක් ඇතුළත සියලු දෙනා දැවී 143 ක් ලෙසින් වෙනස් විය. 

ඕවර 15 කින් ලකුණු 105 ක් ලබා සිටි නමුත් තරගයේ ජයග්‍රහණයක් කරා යාමට තරම් ප්‍රමාණවත් පිතිහරඹයේ ශක්තිමත් බවක් තමන්ට නැතැයි අයර්ලන්තය ඒ වන විටත් පෙන්වා දී තිබිණ. 

වනිඳු හසරංග සිය මුල්ම ඕවරයේදී කඩුල්ලක් දවාගත් නමුත් පාදයේ ආබාධයක් හේතුවෙන් ආපසු ක්‍රීඩාගාරයට ගියේය. එහෙත් නැවත පැමිණි හසරංග, 13 වැනි ඕවරයේ සිට පන්දු යවමින්, ලකුණු 25 කට කඩුලු 3 ක් දවාගත්තේය. 

පළමුවෙන් පන්දුවට පහරදීමට සිදුවූ ශ්‍රී ලංකා ඉනිමේ ආරම්භක ප්‍රහාරයෙන් (පළමු ඕවර 6 දී) කණ්ඩායමට එක්වූයේ ලකුණු 50 කි. ආරම්භක පිතිකරුවන් දෙදෙනාගෙන් ප්‍රහාරයේ භාරකරුවා වන කමිල් මිෂාරගේ උඩපන්දු දෙකක්ම තුන්වැනි ඕවරයේදී ගිළිහී ගිය නමුත් එයින් කිසිදු ප්‍රයෝජනයක් ගැනීමට වමත් පිතිකරුවාට නොහැකි විය. මිෂාර දැවී ගියේ ඉතාමත් දුර්වල ආකාරයෙනි. 

පිතිකරුවන් සියලු දෙනාගෙන්ම වාර්තා වූයේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 12 කි. විස්සයි-20 තරගයකදී එය තනි පිතිකරුවකුට ලබාගත හැකි හයේ - හතරේ පහර සංඛ්‍යාවක් වූවත් ශ්‍රී ලංකා පිතිකරුවෝ අද දිනයේදී කිසියම් මානසික බිම්ගෙයක සිරවී සිටියහ. කමිඳු සහ කුසල් මෙන්ඩිස් දෙදෙනා ගැසූ හතරේ පහර 9 හැරෙන්නට සෙසු පිතිකරුවන් සියලු දෙනාම එක්ව පන්දුව හතරේ සීමාවෙන් එපිටට යැවූයේ තුන් වතාවකදී පමණි. 

අන්තිම හෝරාවේදී ලෝක කුසලාන කණ්ඩායමට එක්වූ කමිඳු මෙන්ඩිස් නොවන්නට, ලකුණු 140 ක් ලබාගැනීමත් ශ්‍රී ලංකා කණ්ඩායමට දුෂ්කර වන්නට තිබිණ. පන්දු 19 කින් ලකුණු 44 ක් ලබාගත් වමත් පිතිකරුවාගේ ඉනිම හතරේ පහර 4 කින් සහ හයේ පහර 2 කින් සමන්විත විය. 

අයර්ලන්ත දඟ පන්දු යවන්නන් හමුවේ අන්ත අසරණ වූ ශ්‍රී ලංකා පිතිකරුවන්ට 7 වැනි ඕවරයේ සිට 16 වැනි ඕවරය දක්වාම පන්දුව හතරේ සීමාවෙන් එපිටට යවාගත නොහැකි විය. කෙසේ වෙතත් 16 වැනි ඕවරයේදී  මැතිව් හම්ප්‍රීස්ගේ පන්දුවක් හතරේ සීමාවට යැවූ කමිඳු මෙන්ඩිස් එතැනින් ප්‍රහාරය ආරම්භ කළහ. 

ඕවර 15 ක් නිමාවේදී පුවරුවේ තිබුණේ ලකුණු 95 කි. එහෙත් කමිඳු සිය දෑත් දිගහැරීමත් සමගින් ක්‍රියාත්මක වූ කුසල් මෙන්ඩිස් ද සිය ලකුණු ලබාගැනීමේ වේගය වැඩිකළ බැවින් අවසන් ඕවර 5 න් ශ්‍රී ලංකා පිලට ලකුණු 68 ක් එක්විය. මේ අතරවාරයේදී අයර්ලන්ත පන්දු රකින්නන්ට රැකගත හැකිව තිබූ උඩපන්දු කිහිපයක්ම ඔවුන්ට සරදම් කරමින් ඉගිළ ගිය අතර එකක් දෙකක් ඔවුන්ගේ අත්වල වැදී බිම වැටිණ. 

වඩාත්ම වාසිදායක සිදුවීම වූයේ ලකුණු 29 ක් ලබා සිටි කුසල් මෙන්ඩිස් කඩුල්ල මුවාකිරීමේ වරදට හසු වූවද, විතීවි පිහිටෙන් සිය කඩුල්ල බේරා ගැනීමයි. විනිසුරු තීරණ විමසීමේදී පෙනී ගියේ ගැරත් ඩෙලානිගේ පන්දුව කුසල්ගේ පා ඉන්නෙන් ඉවතට ඇදී යන බවයි. පන්දු 43 ක් පුරා පිටියේ රැඳුණු මෙන්ඩිස්ගේ ලකුණු 56 ට හතරේ පහර 5 ක් ඇතුළත් විය. 

 


අදහස් (0)

කමිඳු - කුසල් එක්ව සායම බේරා ගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.