Last Update  :  2026-02-05 21:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දසුන් සිතන්නටත් යමක් ඉතිරි කරයි
විස්සයි-20 ලෝක කුසලාන

දසුන් සිතන්නටත් යමක් ඉතිරි කරයි

editorial - 2026 පෙබ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

කිසියම් සුවිශේෂී තත්ත්වයක් හෝ කාරණාවක් සම්බන්ධයෙන් “කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් අසා, තම තම නැණ පමණින් විමසා දැනගත යුතුය” යන්න වසර සිය ගණනක් පුරා ශ්‍රී ලාංකිකයක් අසා පුරුදු කියමනකි. සර්වකාලීන වටිනාකමක් ඇති මෙම ප්‍රකාශය යළිත් සිහිපත් වන්නේ 2026 ලෝක කුසලාන තරගාවලියේ නායක හමුවේදී දසුන් ශානක කළ ප්‍රකාශ විශ්ලේෂණය කිරීමේදීය.  

ලෝක කුසලාන තරගාවලියේ නායක හමුව අද (5 වැනිදා) කොළඹ වෙළෙඳ සේවා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විණ. 

කණ්ඩායම් 20 ක් සහභාගි වන විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ කණ්ඩායම් 8 ක් දැනටමත් ශ්‍රී ලංකාවේ සිටිති. එම කණ්ඩායම් අටේ නායකයන් 8 දෙනා සමගින් අද (5 වැනිදා) දහවල් පැවැති ලෝක කුසලාන පුවත් පත් සාකච්ඡාවේදී ශ්‍රී ලංකා නායක දසුන් ශානක කියා සිටියේ මෙවර ලෝක කුසලාන තරගාවලිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ සූදානම ඉතාමත් හොඳ බවයි. 

“මගේ දෘෂ්ටිකෝණයෙන් නම් ලෝක කුසලාන තරගාවලිය සඳහා අපේ සූදානම හොඳයි. එකම දේ අපට ලැබුණේ අපේක්‍ෂිත ප්‍රතිඵල නොවීමයි.”

“පන්දු යැවීමේ ඒකකය, ඔවුන් ක්‍රියාත්මක වූ ආකාරය ගැන, විශේෂයෙන්ම දුෂ්මන්ත චමීර, මතීෂ පතිරණ සහ පසුගිය තරගයේදී හොඳින් පන්දු යැවූ මහීෂ් තීක්ෂණ ගැන මම ඉතාමත් සතුටු වෙනවා.... පිතිහරඹය ගැන නම් යම් යම් ගැටළු තිබුණා. නමුත් අපි මේ කඩුල්ල (ලෝක කුසලාන තරගාවලිය) පනීවි යයි කියලා බලාපොරොත්තු වෙනවා” යයි දසුන් ශානක පැවසීය. 

ශ්‍රී ලංකා පන්දු යවන්නන් මෑතකදී කොයිතරම් හොඳින් පන්ද යැවූයේද යත් පසුගිය නොවැම්බරයේ සිටි මේ දක්වා පැවැති විස්සයි-20 අන්තර්ජාතික තරග 10 කන් ජයගෙන ඇත්තේ 2 ක් පමණි. එංගලන්තයට එරෙහිව පසුගිය සතියේදී ශ්‍රී ලංකාවේදීම පැවැති විස්සයි-20 තරගාවලිය 3-0 ක් ලෙසින් පරාජය විය. 

“ඔබ දන්නා පරිදි, අපට හොඳ පළපුරුදු පිතිකරුවන් පිරිසක් සිටිනවා. ඒ නිසා ලෝක කුසලාන තරගාවලියේදී තම තමන්ගේ සුවිශේෂී හැකියාවන් පෙන්වීම සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ ඒ ඒ පුද්ගලයන් මතයි” යයි දසුන් කීවේය. එය නායකයකුට වඩා හතරේ සීමාවෙන් පිටත සිටින තේරීම් කමිටු නිලධාරියකුට, නැතහොත් ඡන්දයෙන් පත්වන ක්‍රිකට් නිලධාරියකුට උචිත ප්‍රකාශයකි. 

දසුන් ශානක ශ්‍රී ලංකා කණ්ඩායමට එකතු වන්නේ වැරෙන් (හතරේ සීමාවට ඉහළින්) පන්දුවට පහරදීමට සමත් පිතිකරුවකු සහ ඕවර 4 ම සම්පූර්ණ කළ හැකි පන්දු යවන්නකු ලෙසිනි. එහෙත් සිය අවසන් විස්සයි-20 තරග 5 දී ශ්‍රී ලංකා නායකයාගේ දායකත්වය ලකුණු 71 ක් සහ කඩුලු 2 කි. අවසන් විස්සයි-20 තරගයේදී දසුන් පිටියට පිවිසියේ පිතිකරු ලයිස්තුවේ අංක 8 ස්ථානයෙනි. කෙසේ වෙතත් පිතිකරු ලයිස්තුවේ පහළට යාම සම්බන්ධයෙන් නම් සාධාරණ විග්‍රහයක් කිරීමට ශ්‍රී ලංකා නායකයාට හැකිවිය. 

“මෙනවා හරි දෙයක් කරන්න පුළුවන් නම් ඕනෑම වෙලාවකදි, ඒකට සහාය දෙන්න මම සතුටු වෙනවා. නමුත් ඒ එක්කම කණ්ඩායම තේරීමේදී කණ්ඩායමේ උපායමාර්ග වලට ගැළපෙන විදිහටත් මම නම්‍යශීලී විය යුතුයි. කණ්ඩායම ඇතුළේ මගේ භූමිකාව සම්බන්ධයෙන් ඔවුන් මට පැහැදිළි චිත්‍රයක් දීලා තියෙනවා. 

“සාකච්ඡා කරන්නේ මම විතරක් නෙමේ. ක්‍රීඩකයන්ගේ කාමරයට ගිය පසු, සාකච්ඡා සිදුවන ආකාරය සම්පූර්ණයෙන්ම වෙනස්, විශේෂයෙන්ම පිතිහරඹ පුහුණුකරු සමඟ”
“ඔවුන් මාව යොදාගන්නේ තරග අවසන් කරන්නෙකු ලෙසයි. ඒ නිසා ඔවුන් මට පවරන ඕනෑම කාර්යභාරයක් කිරීමට මම සතුටු වෙනවා. නායකයා ලෙස, මම ප්‍රධානත්වය ගතයුතුයි තමා. ඒත් කණ්ඩායම ඇතුළේ තියෙන අනෙක් දේවල් එක්කත් මම නම්‍යශීලී විය යුතුයි” යයි ද දසුන් ශානක පැවසීය. 

පසුගිය ජූලි මාසයේදී ප්‍රහාරාත්මක පිතිහරඹ පුහුණුකරුවකු වශයෙන් එංගලන්ත ජාතික ජූලියන් වුඩ් මහතාගේ සේවය ශ්‍රී ලංකා කණඩායමට ලබාගත් නමුත් ජූලියන් වුඩ් මහතා දැන් ශ්‍රී ලංකා කණ්ඩායම ගැවසෙන මානයේ අහල ගම් හතකින් වත් සොයාගත නොහැකිය. ශ්‍රී ලංකා කණ්ඩායමේ වත්මන් පිතිහරඹ පුහුණුකරු ඉන්දීය ජාතික වික්රම් රතෝර් මහතාය. 

වික්රම් රතෝර් මහතා ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවාගන්නේ පසුගිය නොවැම්බර් මාසයේ පාකිස්තානයේදී පැවැති එක්දින සහ විස්සයි-20 තරගාවලිය පරාජය වීමේදී ශ්‍රී ලංකා පිතිකරුවන් දැක්වූ දුර්වලතා හේතුවෙනි. වික්රම් රතෝර් මහතා පිතිහරඹ පුහුණුකරුවා වීමෙන් පසුව කණ්ඩායම සහ පිතිහරඹ අංශයේ ඇතිවූ වෙනස්කම් මෙන්ම, ලෝක කුසලාන තරගාවලියේදී පිතිකරුවන්ගේ සැලසුම් පිළිබඳ දසුන් ශානක කීවේ මෙලෙසිනි. 

“අපේ පිහිකරු ලයිස්තුවේ කිසිම අසාර්ථකත්වයක් මට පේන්නේ නැහැ. ඒක සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ අපි ක්‍රීඩා කරන තණතීරුව සහ එක් එක් තරගයේදී අපි පහර තෝරා ගන්නා ආකාරය අනුවයි. එහෙම නොවුණා නම් අපි හොඳ පිතිකරු ලයිස්තුවක්” යයි දසුන් කීවේය. 

දසුන් ශානක එසේ කීවත්, පසුගිය 3 වැනිදා පල්ලෙකැළේදී ලකුණු 129 ක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට නොහැකි විය. ලකුණු 129 ක ඉලක්කයක් සොයා යද්දී, ඕවර 9 කින්, කඩුලු 2 කට ලකුණු 62 ක් ලබා සිටි ශ්‍රී ලංකා කණ්ඩායම (එතැන් සිට ජයග්‍රහණයට අවශ්‍ය වූයේ ඕවර 11 කින් ලකුණු 67 කි) ලකුණු 116 කට දැවී ගියේය. ඒ “හොඳ පිතිකරු” ලයිස්තුවේ ස්වභාවයයි. 

පරාජය වූ තරග වල තණතීරුවට දෝෂාරෝපණය කළ නමුත් ලෝක කුසලාන තරගාවලිය සම්බන්ධයෙන් දසුන් වඩාත් සුභවාදී ස්ථාවරයක සිටී. 

“අපි හොඳින් ක්‍රීඩා කරමින් හිටියා. ඔව්, මීට පෙර බිඳවැටීම් තිබුණා. ඒත් මම අදහස් කළේ, මෑත අතීතයේදී අපි ක්‍රීඩා කළ තණතීරුවල විශාල බලපෑමක් තිබුණා කියන එකයි. ඒත් මේ ලෝක කුසලාන තරගාවලියේදී, මම එහෙම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ” යයි ද දසුන් ශානක පැවසීය. 

කෙසේ වෙතත් දසුන් ශානකට අමතක වී ඇති කාරණාව නම් පසුගිය නොවැම්බරයේ සිට මේ දක්වා පැවැති මාස තුනක කාලය ඇතුළත ශ්‍රී ලංකා විස්සයි-20 (දසුන්ගේ) කණ්ඩායම අන්තර්ජාතික තරග 10 කින් ජයගෙන ඇත්තේ දෙකක් පමණක් වීමයි. ඒ දෙකින් එක තරගයක් සිම්බාබ්වේ පිලට එරෙහිවය. ශ්‍රී ලංකාවේදීම පැවැති තරග 6 කින් ජයගෙන ඇත්තේ එකක් පමණි.  

මෙවර ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ “සූදානම හොඳයි” කියා දසුන් ශානක කියන්නේ එවන් පසුබිමක් තිබියදීය. කෙසේ වෙතත් වික්‍රම් රතෝර් දෙස සුභවාදීව බලන දසුන් ශානක වැඩිදුරටත් පවසන්නේ ඔහු සැමවිටම ක්‍රීඩකයින් ප්‍රහාරාත්මක ප්‍රවේශකයට යොමු කරන බවයි. 

“එයින් බොහෝ ක්‍රීඩකයින්ට නිදහස් මානසිකත්වයක් ලැබෙනවා. ඒකට මම ඇත්තටම කැමතියි” යයි ද ශ්‍රී ලංකා නායකයා පැවසීය. 

ලෝක කුසලාන තරගාවලිය අනිද්දා (7 වැනිදා) දහවල් 11.00 ට පාකිස්තානය සහ නෙදර්ලන්තය අතර පැවැත්වෙන තරගයෙන් ආරම්භ වේ. බටහිර ඉන්දීය කොදෙව් සහ ස්කොට්ලන්තය අතර තරගය අනිද්දා පස්වරු 3.00 ට කොල්කටා නුවර ඊඩ්න් ගාර්ඩ්න්ස් ක්‍රීඩාංගණයේදී ආරම්භ වන අතර ඉන්දියාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර තරගය අනිද්දා පස්වරු 7.00 ට ඉන්දයාවේ මුම්බායි නුවරදී ආරම්භ වෙයි. 

ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාවේ මුල්ම තරගය ඉරිදා රාත්‍රී 7.00 ට ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි. 


අදහස් (0)

දසුන් සිතන්නටත් යමක් ඉතිරි කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.