Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සම්මේලනය මට පයින් ගැහැව්වා

සම්මේලනය මට පයින් ගැහැව්වා

editorial - 2023 ජන මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ආසියානු දැල්පන්දු කුසලාන (2022) දිනාගැනීමෙන් පසුව ඊට මග පෙන්වූ ජාතික දැල්පන්දු පුහුණුකාරිණියට ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය පයින් ගසා පැත්තකට කර දැමීමට උත්සහ ගත් බවත් ඊට එහි සභාපතිනිය වගකිවයුතු බවත් කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් හිටපු ජාතික දැල්පන්දු පුහුණුකාරිණි හයිසින්ත් විජේසිංහ මහත්මිය පැවසුවාය. එහිදී ඇය පැවසුවේ පසුගිය ඉරිදා (22) කැඳවූ ජාතික දැල්පන්දු පුහුණුකරු ධුරය නැවත පිරවීමේ සම්මුඛ පරීක්ෂණයෙන්ද තමා ඉවත්වීමට තීරණය කළ බවයි.

පසුගිය සැප්තැම්බර් මාසයේ සිංගප්පූරුවේදී පැවති  12 වැනි ආසියානු දැල්පන්දු ශූරතා තරගාවලිය අපරාජිතව ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. එහිදී විජේසිංහ මහත්මිය එහි ප්‍රධාන පුහුණුකාරිණිය ලෙස කටයුතු කළාය. මෙම ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකාව 2023 කේප්ටවුන් ලෝක දැල්පන්දු ශූරතා තරගාවලියට ද සුදුසුකම් ලබාගත්තේය.

කෙසේ වුවත් පසුව සිදුවීම් කීපයක් මුල් කර ගනිමින් ඇයට එරෙහිව දැල්පන්දු සම්මේලනය විනය පරීක්ෂණයක් පැවැත්වූ අතර එහි වාර්තාව ඉකුත්දා දැල්පන්දු සම්මේලනයට බාර දුන් අතර එහි නිගමන මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත්ව නැත.

හිටපු පුහුණුකාරිනියට එල්ලවූ චෝදනා අතර ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම් ක්‍රීඩිකාවක් වන සේමිණි අල්විස්ට වෙනස් ආකාරයෙන් සැළකීම හා දේශපාලන පක්ෂයක් සංවිධානය කළ පළාත් උත්සවයකට ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ නිල ඇඳුමෙන් සැරසී සහභාගි වීමයි.

මීළඟ ලෝක දැල්පන්දු තරගාවලිය දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් නුවරදී පැවැත්වීමට නියමිතව ඇත්තේ ජුලි  28 සිට අගෝස්තු 6 වැනිදා දක්වාය. ඊට ශ්‍රී ලංකාව ඇතුළුව රටවල් 16ක් සුදුසුකම් ලබා සිටිති.

මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න කිරීම් රැසක් මැද හයිසින්ත් විජේසිංහ මහත්මිය මෙසේද පැවසුවාය.

“සිරිතක් හැටියට ආසියානු කුසලාන ආසන්නයේ යෙදෙන ලෝක ශූරතා තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම් පුහුණුකරු හැටියට තෝරා ගන්නෙත් ආසියානු තරගාවලියට සහභාගි වුණු පුහුණුකරුමයි.

නමුත් දැල්පන්දු සම්මේලනයේ වත්මන් සභාපතිනිය මෙම තරග සංචාරයෙන් මා ඉවත් කරන්න මුල සිටම විවිධ උපායන් යොදන බව තේරුණා. ඒ නිසා ලෝක ශූරතා තරග සංචාරයෙන් මා ඉවත් කරන්න පෙරම එයින් ඉවත් වෙන්න මා තීරණය කළා.“

“ආසියානු කුසලාන ශ්‍රී ලංකාව දිනාගත්තට පස්සේ රටේ පිළිගැනීමේ උත්සව රැසක් ඒ වෙනුවෙන් සංවිධානය වුණා. ඒ බොහෝ උත්සවවලට මට ආරාධනා කරන්න දැල්පන්දු සම්මේලනය මැළි වුණා . ඒකට හේතුව ඒ උත්සවවලදි මට ලැබෙන පිළිගැනීම වළක්වන්නයි.“

“විනය කමිටුව මට එරෙහිව පරීක්ෂණයක් කළා. ඒකෙදි කනගාටුවට කාරණය හිටපු ජාතික පුහුණුකාරිනියක් වුණ දීප්ති අල්විස් මහත්මිය ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩිකාවක් වූ තමන්ගේ දුවට මම වෙනසක් කරල කියලා සාක්කි දීමයි. නමුත් මම ශ්‍රී ලංකා කණ්ඩායමේ කිසිදු ක්‍රීඩිකාවකට දැනෙන තරමේ එහෙම වෙනසක් නොකළ බවට කණ්ඩායමේ නායිකා ගයාංජලි අමරවංශ හා උපනායිකා දුලාංගි වන්නිතිලක විනය කමිටුවට ලබාදුන් කට උත්තර මා එම චෝදනාවෙන් නිදොස් වීමට විශාල පිටිවහලක් වුණා“

“ආසියානු කුසලාන ශ්‍රී ලංකාවට දෙවරක් දිනා දුන් පුහුණුකාරිනියක හැටියට මීට පෙරත් ලෝක කුසලාන තරගාවලියක ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකාරිනිය හැටියටත් කටයුතු කළ මම වඩාත් සතුටු වෙන්නේ අදටත් ලෝක කුසලාන තරගාවලියක ශ්‍රී ලංකාවේ මෙතෙක් හොඳම දස්කම ප්‍රදර්ශනය වෙලා තිබෙන්නේ මගේ පුහුණුකාරිත්වය යටතේ වීම නිසයි. “

“ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකාව සූදානම් කරන්න මගේ හොඳ සැලැස්මක් තිබ්බා. අපිට ලෝක කුසලානය දිනා ගන්න බැරි වුණත් ශ්‍රේණිගත කිරීම්වලින් මෙතෙක් ඉහළම තැනට ශ්‍රී ලංකාව ගේන්නයි ඒ සැලසුම් වුණේ.“

අවාසනාවකට දැල්පන්දු සම්මේලනය ආසියානු කුසලාන දිනාගත් සැප්තැම්බර් මාසයේ ඉඳලා අද දක්වා ලෝක කුසලාන තරගාවලියට මෙතෙක් කිසිදු සැළැස්මක් ඉදිරිපත් කරලා නෑ. ලෝක ශූරතා තරගාවලියට තව තිබෙන්නේ මාස හයකට අඩු කාලයක් විතරයි. අපේ රට විතරයි ඒකට කිසිම සූදානමක් තවම පෙන්නලා නැත්තේ.

නමුත් ලෝක කුසලාන තරගාවලියට මෙතෙක් කිසිදු සූදානමක් නැති දැල්පන්දු සම්මේලනයේ සභාපතිනිය මේ වසරට එළඹිලා තිබෙන නිලවරණයේදී තමන්ගේ තනතුර ආරක්ෂා කර ගන්න නම් සැළසුම් හදමින් ඉන්න බව පේනවා.“ යයි ද හයිසින්ත් විජේසිංහ මහත්මිය “පැවසුවාය.


අදහස් (0)

සම්මේලනය මට පයින් ගැහැව්වා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.