Last Update  :  2025-05-11 20:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සංගාගේ ශතකයත් සමග ගාල්ලට වැස්ස කඩාවදී

සංගාගේ ශතකයත් සමග ගාල්ලට වැස්ස කඩාවදී

දිලිනි මල්රුක්ෂි - 2014 අගෝ මස 08 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

පාකිස්තානයට එරෙහිව ගාල්ල අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේ පැවැත්වෙන පළමුවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ තුන්වැනි දිනය වන අද (8 වැනිදා) තේ පානයට පොරතුව තම 37 වැනි ටෙස්ට් ශතකය ලබාගත් කුමාර් සංගක්කාර ශ්‍රී ලංකා මුල් ඉනිමේ ලකුණු සංඛ්‍යාව කඩුලු 2 කට 252 ක් දක්වා ඉහළ දමමින් පිට පිටම දෙවැනි වතාවටත් පන්දුවට පහර දීමේ අසීරුතාවයෙන් තම කණ්ඩායම ගලවාගත්තේය. එහෙත් සංගක්කාර ශතකය ලබාගන්නවාත් සමගම නිරිත දිග මුහුද දෙසින් ආ ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් තේ පානයට විනාඩි කිහිපයක් තිබියදීම තරගය නතර කරන ලදි.

මෙම තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්තානු පිල සිය මුල් ඉනිම වෙනුවෙන් ලකුණු 451 ක් ලබාගත් හෙයින් ශ්‍රී ලංකා පිල තවමත් ලකුණු 199 ක් පසුපසීන් සිටී.

තරගය නතර කරන විටත් ලකුණු 55 ක් ලබා පිටියේ රැඳී සිටි මහේල ජයවර්ධන සමග එක්ව සංගක්කාර පැවැත්වූ 18 වැනි ශතක සම්බන්ධතාවද ඒ වන විට සම්පූර්ණ වී තිබිණ. විනාඩි 145 ක දී පැමිණි මෙම ශතක සම්බන්ධතාවට පිතිකරුවන් දෙදෙනාම පන්දු 199 කට මුහුණ දී තිබිණ.

ඊයේ තරගය නතර කරන විට නොදැවී ලකුණු 36 ක් ලබා සිටි සංගක්කාර අද පෙරවරුවේදී තරමක් අවදානම් පහර කිහිපක් ගැසීමට උත්සුක වූවද පසුව සිය සුපුරුදු තැන්පත්බව සොයාගනිමින් හීන්සීරුවේ ශතකය කරා පියමං කළේය. ඒ වෙනුවෙන් පැය තුන හමාරකට ආසන්න කාලයක් ගතකළ මේ පරිණත වමත් පිතිකරුවා පන්දු 216 කට මුහුණ දෙමින් ඒවායින් 13 ක් හතරේ සීමාවට යවා තිබිණ.

ගාල්ල කී‍්‍රඩාංගණයේදී සිය අවසන් ටෙස්ට් තරගයට කී‍්‍රඩා කරන මහේල ජයවර්ධන අද දහවල් පිටියට පිවිසෙන අවස්ථාවේදී ඔහුට ඉතාමත් උණුසුම් පිළිගැනීමක් ලැබිණ. හතර වටින්ම රතිඤ්ඤා දැල්වෙද්දී, තරුණ කි‍්‍රකට් කී‍්‍රඩකයන්ගේ පිති ආචාරය මැදින්  පිටියට පිවිසි මහේල ජයවර්ධන මුහුණ දුන් දෙවැනි පන්දුවට තනි ලකුණක් ලබාගත් අතර තුන්වැනි පන්දුවට අලංකාර ස්ක්වෙයාර් කට් පහරක් ගසමින් සයීඞ් අජ්මල්ගේ පන්දුව හතරේ සීමාවට යැවීය.

පැය දෙකකදී, පන්දු 91 කට මුහුණ දෙමින් 83 වැනි වතාවටත් ටෙස්ට් ඉනිමකදී ලකුණු 50 ඉක්මවා ගිය මහේල ජයවර්ධන කල්යල් බලා ගැසූ අලංකාර හතරේ පහර 6 ක් ඊට ඇතුළත් කර තිබිණ.

මහේල ලකුණු 11 ක් ලබා සිටියදී ජුනයිඞ් ඛාන්ගේ පන්දුවකින් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගිය බව විනිසුරු ඉයන් ගෝල්ඞ් මහතා තීරණය කළ නමුත් එම තීරණය නැවත විමසූ පිතිකරුවා තවදුරටත් පිටියේ රැඳී සිටීමට අවස්ථාව උදාකරගත්තේය.

කුමාර් සංගක්කාරද එවැනිම අවස්ථාවකට මුහුණ දුන් නමුත් එවර විනිසුරු තීරණය පිතිකරුවාගේ වාසියට විය. ඒ ගැන විමසීමට ගිය පාකිස්තානු නායක මිස්බා උල් හක් තමන්ට තිබූ විනිසුරු තීරණ විමසීමේ අවස්ථා දෙකින් එකක් අහිමි කරගත්තේ ඒ වන විට ලකුණු 62 ක් ලබා සිටි වමත් පිතිකරුවාට තවදුරටත් පිටියේ රැඳී සිටීමේ අවස්ථාව දෙමිනි.

එම අවස්ථාවෙන් නිසි ප්‍රෙයා්ජන ගත් සංගක්කාර සහ මහේල දෙදෙනා ටෙස්ට් තරග වලදී එක්ව රැස්කළ ලකුණු සංඛ්‍යාව 6411 දක්වා ඉහළ දමාගත්හ. ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ සාර්ථකම සම්බන්ධතා පැවැත්වූ පිතිකරුවන් අතර සංගක්කාර සහ මහේල 3 වැනි ස්ථානය ගෙන සිටිති.

ටෙස්ට් ඉනිම 143 කදී ලකුණු 6920 ක් රැස්කළ සචින් තෙන්ඩුල්කාර් සහ රාහුල් ද්‍රාවිඩ් දෙදෙනා සාර්ථකම සම්බන්ධතා පැවැත්වූ පිතිකරුවන්ගේ ලයිස්තුවේ මුල්තැන ගෙන සිටින අතර ටෙස්ට් ඉනිම 148 කදී එක්ව ක්‍රීඩා කළ බටහිර ඉන්දීය පිලේ ගෝර්ඩ්න් ග්‍රිනිජ් සහ ඩෙස්මන්ඩ් හේන්ස් දෙදෙනා ලකුණු 6482 ක් ලබා දෙවැනි ස්ථානයේ සිටිති.

දිවා ආහාරය සඳහා තරගය නතර කර තිබියදී ඇද හැළුණු මඳ වර්ෂාව නිසා විනාඩි 35 ක කාලයක් අපතේ ගියේය. දිවා ආහාරයෙන් පසුව තරගය ආරම්භ කර පවත්වාගෙන යා හැකි වූයේ විනාඩි 20 ක කාලයක් පමණි. නැවතත් වර්ෂාව ඇද හැළුණු හෙයින් තරගය නතර කිරීමට සිදුවිය.

අද පෙරවරුවේදී සංගක්කාර සහ කෞෂාල් සිල්වා දෙදෙනා ශී‍්‍ර ලංකා මුල් ඉනිමේ ලකුණු සංඛ්‍යාව කඩුලූ 1 කට 144 දක්වා ඉහළ දැමූවද පළමු හෝරාවට අවසන් කරමින් යැවූ අවසන්  ඕවරයේ අවසන් පන්දුවේදී කෞෂාල් සිල්වාගේ ඉනිම ලකුණු 64 දී නතර කිරීමට මොහොමඞ් තල්හා සමත් විය.

දිනයේ පළමු පන්දුවටම ලකුණු 3 ක් ලබාගත් කුමාර් සංගක්කාර තම කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 100 සීමාවෙන් ඔබ්බට ගෙන ගිය අතර එයින් මඳ වේලාවකට පසුව කෞෂාල් සිල්වා සමග එක්ව පැවැති දෙවැනි කඩුල්ලේ ලකුණු සම්බන්ධතාව 120 දක්වා ඉහළ දැමීය.

කෞෂාල්ගේ පිත්තේ වැදුණු පන්දුව ස්ලිප් කී‍්‍රඩකයන් දෙසට ඇදී යද්දී ඒ වෙත ඇදී ගිය සෆ්රාස් අහමඞ් තනි අතින් පන්දුව රැුකගත්තේ තරමක් ඉදිරියටද පනිමිනි.

තම හයවැනි ටෙස්ට් අර්ධ ශතකය වෙනුවෙන් පන්දු 114 කට මුහුණ දුන් කෞෂාල් හතරේ පහර 9 ක් ඊට ඇතුළත් කළ අතර සිය අර්ධ ශතකය සම්පූර්ණ කළේය ජුනයිඞ් ඛාන්ගේ පන්දුවකට ඞීප් ස්ක්වෙයාර් ලෙග් හරහා ගැසූ අලංකාර පුල් පහරකිනි.

ලකුණු පුවරුව


අදහස් (1)

සංගාගේ ශතකයත් සමග ගාල්ලට වැස්ස කඩාවදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.