Last Update  :  2026-01-22 16:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සංගම් හතකට ඡන්ද බලය දීමට එරෙහි වෙයි

සංගම් හතකට ඡන්ද බලය දීමට එරෙහි වෙයි

editorial - 2026 ජන මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නාමල් පතිරගේ

ශ්‍රී ලංකා ජිම්නාස්ටික් සංගමයේ මීළගට කැඳවීමට නියමිත නිලවරණයේදී ඡන්ද බලය ලබා දුන් දිස්ත්‍රික් සංගම් හා ක්‍රීඩා සමාජ හතකට එරෙහිව එහි හිටපු ලේකම්වරයා විසින් විරෝධතා ගොනු කර තිබේ.ක්‍රීඩා පනතට හා ජිම්නාස්ටික් සංගමයේ ව්‍යවස්ථාවට එය පටහැණි යයි දක්වමින් එහි හිටපු ලේකම් උදාර එස්.ලියන්වල මහතා විසින් නිලවරණ කමිටුවට එම විරෝධතා ඉදිරිපත් කර තිබේ.

මාතර, මාතලේ, නුවරඑළිය, කළුතර යන දිස්ත්‍රික් ජිම්නාස්ටික් සංගම් ඇතුළුව කින්, නාගරික හා තරුණ සේවා සභා යන ක්‍රිඩා සමාජ වලට මීළගට නියමිත නිලවරණයේදී ඡන්ද බලය ලබාදීමට ගත් තීරණයට එරෙහි වන බව ලියන්විල මහතා නිලවරණ කමිටුවට භාර දුන් එම විරෝධයේ දැක්වේ.

එහිදී අවධාරණය කර ඇත්තේ ඉහත සදහන් අනු සංගම් හා ක්‍රීඩා සමාජ 2023 සිට 2025 දක්වා ජාතික ජිම්නාස්ටික් සංගමය පවත්වන ලද ජාතික තරගාවලිය ඇතුළු එහි තරග මාලා වලට හෝ ජාතික  සංගමය සංවිධානය කළ කිසිදු වැඩසටහනකට සහභාගිවී නැති බවයි. එමෙන්ම එකී කාලය තුළදී ජාතික සංගමයේ මහ සභා හා විධායක කමිටු රැස්වීම් සදහා(වාර තුනක්) සහභාගි වීමට අපොහොසත් වීමෙන්ද හා එකී කාලයට අදාළව එහි වාර්ෂික සාමාජික ගාස්තු ගෙවීමට කටයුතු නොකිරීමෙන්ද ක්‍රීඩා පනතේ 2025 මැයි 21වැනිදා සංශෝධිත රෙගුලාසි හා ජාතික සංගමයේ ව්‍යවස්ථාව එකී සංගම් විසින් උල්ලංඝණය කර ඇති බැවින්ද ඔවුන්ට නිලවරණයේදී ඡන්ද බලය ලබාදීමට විරුද්ධ වන බව අදාළ විරෝධතාවයෙන් වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

මේ අතර විරෝධතාවයට ලක්වූ කළුතර දිස්ත්‍රික් ජිම්නාස්ටික් සංගමය වසර 15 ක කාලයක් තිස්සේ අක්‍රියව තිබියදී ජාතික සංගමයේ අධීක්ෂණයෙන් තොරව එය යළි ස්ථාපිත කර ඇතැයිද චෝදනාවක් එල්ලවී තිබේ.

ශ්‍රී ලංකා ජිම්නාස්ටික් සංගමයේ මීළග (2026 -28) නිලවරණයට මෙතෙක් දින නියමවී නැති අතරම නාමයෝජනා කැදවීමද ඊයේ වන තෙක් ප්‍රකාශයට පත්ව නොතිබුණි.කෙසේවූවත් නිලවරණයට සහභාගි කර ගන්නා අනු සංගම් හා ක්‍රීඩා සමාජ සූදානම් කර ගැනීමේදී ඊට එරෙහිව ඉදිරිපත් වන විරෝධතා බාර ගැනීම අද (20) පස්වරු 3 දක්වා සිදු කෙරෙන බව නිලවරණ කමිටුව ප්‍රකාශ කර තිබුණි.

වාර්තා වන පරිදි ජිම්නාස්ටික් සංගමයේ හිටපු සභාපතිවරුන් දෙදෙනකු වන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් පෙරේරා හා කෝකිල ඉමේෂ් යන මහත්වරු පාර්ශව දෙකක් නියෝජනය කරමින් මෙවර සභාපති ධූරය සදහා නාමයෝජනා බාරදීමට සූදානමින් සිටියි.

ජිම්නාස්ටික් සංගමයේ පිළිගත් අනු සංගම් හා ක්‍රීඩා සමාජ ගණන මේ වන විට 31කි.හිටපු සභාපති,හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී.දොළුවත්ත මහතා මෙවර නිලවරණයට ඉදිරිපත් නොවේ.


අදහස් (0)

සංගම් හතකට ඡන්ද බලය දීමට එරෙහි වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.