ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාවලියේ මෙතෙක් සිදුවූ විශාලතම පෙරළිය කළ රුසියාවේ මාරියා ෂරපෝවා මෙල්බර්න් නුවර රොඞ් ලීවර් පිටියේදී අද (18 වැනිදා) පැවැති තරගයේදී ඩෙන්මාර්කයේ කැරොලින් වොස්නියැකි ලකුණු 6-4 ක්, 6-4 ක් සහ 6-3 ක් ලෙස පරාජයට කළාය. වසර 2018 දී ඕස්ට්‍රේලියානු විවෘත ශූරිය වූ වොස්නියැකි මෙවරත් සිය ශූරතාව රැකගැනීමේ අපේක්ෂාවෙන් පිටියට පිවිසි නමුත් හිස් අතින්ම ආපසු ගෙදර ගියාය.
මීට පෙර පස් වතාවක් ග්රෑන්ඞ් ස්ලෑම් ටෙනිස් ශූරතා දිනා ඇති, 31 හැවිරිදි ෂරපෝවාට, 28 හැවිරිදි වොස්නියැකි තරගාවලියෙන් ඉවතට විසි කිරීම සඳහා පැය දෙකකුත්, මිනිත්තු 24ක් ගතවිය.
වසර 2008 දීත් ඕස්ට්‍රේලියානු ටෙනිස් කිරුළ දිනූ, කාන්තා ටෙනිස් ශ්‍රේණිගත කිරීම් අතරේ 30 වැනි ස්ථානයේ සිටින ෂරපෝවා, මීළගට ඇති අවසන් 16 දෙනාගේ වටයේදී තරග වැදිමට නියමිතව ඇත්තේ ඕස්ට්‍රේලියාවේ ඈෂ්ලි බර්ටි සමගිනි. ඇෂ්ලි බර්ටි මෙම සුදුසුකම් ලබාගත්තේ ලකුණු 7-5 ක් සහ 6-1 ක් ලෙස ග්‍රීසියේ මරියා සක්කාරී පරාජයට පත් කරමිනි.
“මං හිතන්නේ ඇයට (ඈෂ්ලිට) ආශ්චර්යවත් කතාවක් තියෙනවා. ඇය කොහොමත් මේ පිටියේ සෙල්ලම් කරන්න ආසයිලු. එයා එක්ක ඊළඟ තරගය අමාරු වෙනවා කියලා මම දන්නවා. ඒත් ඉතින් මම මෙහේ ආවේ සෙල්ලම් කරලා දිනන්න නේ. අපි බලමු” යයි ෂරපෝවා ඊළග තරගය ගැන බලාපොරොත්තු ගොඩනගා ගත්තේ එලෙසය.
“ගිය අවුරුද්දේ මම වැඩිය තරගවලට සහභාගි වුණේ නෑ. විශේෂයෙන් ඉදිරිපෙළ ක්‍රීඩිකාවන් සමග. ඒ නිසා මේ ජයග්‍රහණය මට නිකම් තෑග්ගක් වගේ” යයිද තහනම් උත්තේජන භාවිතය නිසා මාස 15ක තරග තහනමකට ලක්වූ ෂරපෝවා කීවාය.
අවසන් වතාවට 2014දී ප්‍රංශ විවෘත ටෙනිස් කිරුළ දිනාගැනීමෙන් පසුව අද දක්වාම ෂරපෝවාට ග්රෑන්ඞ් ස්ලෑම් ශූරතාවක් දිනාගැනීමට හැකිවූයේ නැත. ලෝක කාන්තා ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල තුන්වැනි තැන සිටින කැරොලින් වොස්නියැකි මෙවර තරගාවලියේදී කුසලානය රැක ගැනීමට තරග වදින ක්‍රීඩිකාව ලෙස එක්වූයේ ජීවිතයේ පළමු වතාවටය.
“මට වැඩිය සටනක් තිබුණේ නෑ. වුණේ පීඩනය වැඩිවීම පමණයි” යයි පරාජයෙන් පසුව වොස්නියැකි පරාජයෙන් පසුව කීවාය.
“ටෙනිස් ක්‍රීඩාවේ තරගයක් අතරතුරදී ඔබට ඉන්නේ ඔබ පමණයි. උපරිම අයුරින් ක්‍රීඩා කරන්න සිද්ධවෙනවා. සමහර දවස්වලට දිනනවා. තවත් සමහර දවස්වලට පරදිනවා. අද මම මට පුළුවන් උපරිම විදිහට සෙල්ලම් කළා. ඒත් ඇය (ෂරපෝවා) අද මට වඩා දක්ෂ වුණා” යයි වොසිනියැකි වැඩිදුරටත් කීවාය.
මේ අතර ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් කුසලානය 6 වරක් දිනා ඇති ස්විට්සර්ලන්තයේ සුපිරි ක්‍රීඩක 37 හැවිරිදි රොජර් ෆෙඩරර් අද අමෙරිකාවේ 21 හැවිරිදි ටේලර් ෆ්රිස්ට් ලකුණු 6-2 ක්, 7-5 ක් සහ 6-2 ක් ලෙස පරාජය කරමින් අවසන් 16 දෙනා අතරට එක්වීමට සමත්විය. ඔහු ග්රෑන්ඞ් ස්ලෑම් තරගාවලියක අවසන් 16 දෙනා අතරට සේන්දුවූයේ 63 වැනි වතාවටය.
ඒ හා සමානම දස්කමක් පෙන්වූ ශ්‍රේණිගත කිරීම්වල දෙවැනි තැන සිටින ස්පාඤ්ඤයේ රෆායෙල් නඩාල් අවසන් 16 දෙනාගේ වටයට අද එක්වූයේ ලකුණු 6-1 ක්, 6-2 ක් සහ 6-4 ක් ලෙස ඕස්ටේ්රලියාවේ ඇලෙක්ස් ඩි මිනෝර් පරාජය කරමිනි. එය දෛවෝපගත තරගයකි. මේ දෙදෙනා අවසන් වතාවට මුණ ගැසුණේ පසුගිය වසරේ විම්බල්ඩන් තරගාවලියේදීය. එහිදී නඩාල් ජයග්‍රහණය වාර්තා කිරිමට රැස් කළේ අද ලැබූ ලකුණු ප්රමාණයමය.
සැකසුම : මොහාන් ප්‍රනාන්දු
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.