Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශූරතාව හොං කොං පිලට
ආසියානු සත් සාමාජික රග්බි

ශූරතාව හොං කොං පිලට

editorial - 2022 නොවැ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රනිල් ප්‍රේමතිලක ඩුබායි නුවර අල් අයින්හි සිට..)

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නුවර අල් අයින් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැති ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ ශූරතාව දිනාගැනීමට හොං කොං රාජ්‍යය සමත් විය. තායිලන්තයේදී සහ දකුණු කොරියාවේදී පැවැති මෙම තරගාවලියේ පළමු සහ දෙවැනි අදියර ජයගනු ලැබුවේද හොං කොං රාජ්‍යය විසිනි.

‘ඒ’ කාණ්ඩය යටතේ තරගාවලියට එක්වූ හොං කොං කණ්ඩායම, මූලික වටයේදී මැලේසියාවට එරෙහිව ලකුණු 38-07 ක්, චීනයට එරෙහිව ලකුණු 28-12 ක් සහ ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 33-17 ක් ලෙස ජයග්‍රහණ වාර්තා කරමින් කුසලාන වටයට සුදුසුකම් ලබාගත්තේය.

කුසලාන අවසන් පූර්ව වටයේදී සිය ප්‍රතිවාදීන් වූ ජපානය ලකුණු 33-07 ක් ලෙස පරාජය කළ හොං කොං කණ්ඩායම කල් වේලා ඇතිවම අවසන් මහ තරගයේ ස්ථානයක් වෙන්කරවා ගත්තේය. එක්සත් අරාබි එමීර් රාජ්‍යය අවසන් තරගයට පිවිසියේ චීනයට එරෙහිව ලකුණු 26-21 ක ජයක් වාර්තා කරමිනි.

ආරම්භයේ සිටම අවසන් තරගයේ පාලනය සියතට ගත් හොං කොං ක්‍රීඩකයෝ එහි පළමු අර්ධය අවසන් වන විට ලකුණු 14-00 ක් ලෙස පෙරමුණ ගත්හ. දෙවැනි අර්ධයේදී සිය කණ්ඩායමට තවත් ලකුණු 7 ක් එක්කර ගැනීමට හොං කොං ක්‍රීඩකයෝ සමත් වූ අතර එහිදී එක්සත් අරාබි එමීර් ක්‍රීඩකයන්ට ලබාගත හැකි වූයේ ලකුණු 5 ක් පමණි.

ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම අදියරේදී කණ්ඩායම් 8 ක් අතරින් 7 වැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදුවිය. තරගාවලියට සහභාගි වීම සඳහා පමා වී එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පැමිණීමත්, ඒ හේතුවෙන් පුහුණුසැසි සඳහා සහභාගි වීමට නොහැකි වීමත් මෙම පසුබෑමට බෙහෙවින්ම බලපා ඇතැයි රග්බි ප්‍රවීනයෝ පෙන්වා දෙති. සෙනසුරාදා (26) පෙරරුවේ තරගාවලියේ සමාරම්භක තරගයට සහභාගි වීමට නියමිතව සිටි ශ්‍රී ලංකා කණ්ඩායම, අල් අයින් ප්‍රදේශයේ පිහිටි ක්‍රීඩකයන් නවාතැන් ගන්නා හෝටලයට පැමිණියේ සිකුරාදා (25) අළුයම 2.30 ට පමණය.

 


අදහස් (0)

ශූරතාව හොං කොං පිලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.