Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශා. ජෝෂප් ක්‍රීඩකයෝ පැසිපන්දු ශූරතාව දිනති

ශා. ජෝෂප් ක්‍රීඩකයෝ පැසිපන්දු ශූරතාව දිනති

editorial - 2022 මැයි මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

කොරෝනා වසංගතයේ බලපෑම හේතුවෙන් වසර 3 ක කාලයක් නැවතී තිබූ වයස අවුරුදු 20 න් පහළ සමස්ත ලංකා පාසල් පැසිපන්දු තරගාවලියේ ශූරතාව දිනාගැනීමට මරදාන ශාන්ත ජෝෂප් විදුහල සමත් විය. කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහ තරගයේදී කොළඹ රාජකීය විදුහලට එරෙහිව ලකුණු 68-52 ක ජයක් වාර්තා කරමින් ශාන්ත ජෝෂප් ක්‍රීඩකයෝ ශූරතාවට හිමිකම් කීහ.

මූලික වටයේදී ලකුණු 60-38 ක් ලෙස මහනුවර ගේට්වේ ජාත්‍යන්තර පාසලද, ලකුණු 75-38 ක් ලෙස ගාල්ල මහින්ද විදුහලද, ලකුණු 75-32 ක් ලෙස යාපනය ඒන්ජල් ජාත්‍යන්තර පාසලද, ලකුණු 90-38 ක් ලෙස දෙහිවල එල්.පී.එෆ්. විද්‍යායතනයද පරාජය කිරීමට ශාන්ත ජෝෂප් විදුහල සමත් විය.

අර්ධ අවසන් පූර්ව වටයේදී ලකුණු 62-57 ක් ලෙස කොළඹ ආනන්ද විදුහල පරාජය කරමින් අවසන් පූර්ව වටයට පිවිසි ශාන්ත ජෝෂප් විදුහල, තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ කොළඹ ඩී.එස්. සේනානායක විදුහලට එරෙහිව ලකුණු 87-36 ක ජයක් වාර්තා කරමිනි.

ශාන්ත ජෝෂප් විදුහල් කණ්ඩායමේ නායක ෂෙහාන් ප්‍රනාන්දු තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා ලෙසත්, එම කණ්ඩායමේ කීත් කොස්තා තරගාවලියේ දක්ෂතම ආරක්‍ෂක ක්‍රීඩකයා ලෙසත් සම්මාන ලැබූහ.

ජාතික පැසිපන්දු කණ්ඩායම නියෝජනය කළ හිටපු පැසිපන්දු ක්‍රීඩක රන්දිම සූරියාරච්චි මහතා, ශාන්ත ජොෂප් විදුහල් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසත්, ෂේන් ඩැනියෙල් මහතා කණ්ඩායමේ සහාය පුහුණුකරුවා ලෙස කටයුතු කරති.

ගජ ස්පෝට්ස් සමාගමේ අනුග්‍රහය යටතේ ශ්‍රී ලංකා පාසල් පැසිපන්දු සංගමය සංවිධානය කළ මෙම තරගාවලිය සඳහා දිවයින පුරා පාසල් 50 ක් සහාගි වූ අතර එහිදී කාණ්ඩ 5 ක් යටතේ තරග පැවැත්විණ.

 


අදහස් (0)

ශා. ජෝෂප් ක්‍රීඩකයෝ පැසිපන්දු ශූරතාව දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.