ශ්‍රී ලංකාවට අනුශුරතාව
ඬේවිස් කුසලාන කනිෂ්ඨ ටෙනිස් තරගාවලියට සුදුසුකම් ලබාගැනීම සඳහා පැවැති පූර්ව සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ අනුශූරතාව ශ්‍රී ලංකාවට හිමිවිය. සිරියාවට එරෙහිව කොළඹ ටෙනිස් සංගම් මූලස්ථාන ක්‍රීඩාංගණයේදී ඊයේ (9 වැනිදා) පැවැති අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම තරග 2-1 ක් ලෙස පරාජය විය.
ශ්‍රී ලංකාව අවසන් මහ තරගය පරාජය වූයේ අවසන් මහ තරගය දක්වා පැමිණි අපරාජිත ගමනකින් පසුවය.
අවසන් තරගයේ ප්‍රතිඵලය කුමක් වුවත් අවසන් තරගයට සහභාගි වූ කණ්ඩායම් දෙකම ඬේවිස් කුසලාන කනිෂ්ට තරගාවලියේ අවසන් සුදුසුකම් ලබාගැනීමේ අදියරට තේරී පත්වන බැවින් සිරියාව මෙන්ම ශ්‍රී ලංකාවද ඬේවිස් කුසලාන තරාගාවලියේ අවසන් සුදුසුකම් ලබාගැනීමේ අදියරට සහභාගි වීමට සුදුසුකම් ලබා සිටිති.
අවසන් පූර්ව වටයේදී තරග 2-0 ක් ලෙස ලෙබනනයට පරාජය කරමින් ශ්‍රී ලංකාව අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත් අතර සිරියාව අවසන් මහ තරගයට පිවිසියේ අවසන් පූර්ව වටයේදී තරග 2-1 ක් ලෙස සිංගප්පූරුව පරාජය කරමිනි. ලෙබනනය සහ සිංගප්පූරුව අතර පැවැති තෙවැනි ස්ථානය තේරීමේ තරගයෙන් 2-1 ක ජයක් අත්කර ගැනීමට ලෙබනනය සමත් විය.
අවසන් මහ තරගය කේවල තරග 2 කින් සහ යුගල තරගයකින් සමන්විත වූ අතර එහි පළමු කේවල තරගය ජයගැනීමට ශ්‍රී ලංකාවත්, දෙවැනි කේවල තරගය ජය ගැනීමට සිරියාවත් සමත් විය. කෙසේ වුවත් දෙපිලටම තීර්ණාත්මක වූ යුගල තරගයේදී ශ්‍රී ලංකාව පරාජය කළ සිරියාව තරග 2-1 ක් ලෙස සමස්ත තරගයේ ජය තමන් සතුකර ගත්තේය.
පළමු කේවල තරගයේදී වට 2-0 ක් ලෙස පෙයිරී ඞ්ජාරෝච් පරාජය කිරීමට චාතූර්ය නිලවීර සමත් වූ අතර ලකුණු 6/2 ක් සහ 6/3 ක් ලෙස එම තරගයේ ලකුණු තත්වය සටහන් විය. එහෙත් දෙවැනි කේවල තරගයේදී වට 2-0 ක් ලෙස ටයිම් අල් අස්මී හමුවේ ටෙහාන් විජේමාන්න පරාජය වීම නිසා දෙපිලම තරග 1-1 ක් ලෙස සම තත්වයට පත් විය. ලකුණු 6/2 ක් සහ 6/0 ක් ලෙස දෙවැනි කේවල තරගයේ ලකුණු තත්වය දැක්විණ.
තීර්ණාත්මක වූ යුගල තරගයේදී ධිල්වන් හේරත් සමග එක්ව ටයිම් අල් අස්මීට සහ පෙයිරී ඞ්ජාරෝච්ට කරට කර තරගයක් දීමට චාතූර්ය නිලවීර සමත් වුවත්, එහි පළමු වටය 7/5 ක් ලෙසත්, දෙවැනි වටය 6/3 ක් ලෙසත් පරාජය වීම නිසා ඔවුන්ට වට 2-0 ක පරාජයකට හිමිකම් කීමට සිදුවූහ.
ඬේවිස් කුසලාන කනිෂ්ට තරගාවලියේ අවසන් සුදුසුකම් ලබාගැනීමේ අදියර අප්‍රේල් මස 6 වැනිදා සිට 14 වැනිදා දක්වා තායිලන්තයේදී පැවැත්වේ. ශ්‍රී ලංකාව සහ සිරියාවද සමගින් එම අදියරට ඇතුළත්ව සිටින ආසියානු පැසිපික් කලාපීය රටවල් සංඛ්‍යාව 16 කි.
ජපානය, උස්බෙකිස්තානය, ඕස්ටේ්‍රලියාව, හොං කොං, චීනය, කොරියාව, ඉන්දියාව, පිලිපීනය, නවසීලන්තය, තායිලන්තය, චීන තායිපේ, ඉන්දුනීසියාව, කසකස්තානය සහ පාකිස්තානය යන රටවල් අවසන් සුදුසුකම් ලබාගැනීමේ අදියර සඳහා පෙර සිටම සුදුසුකම් ලබා සිටියහ.
අවසන් මහ තරගය
■ චාතූර්ය නිලවීර (ශ්‍රී ලංකාව) විසින් වට 2-0 ක් ලෙස පෙයිරී ඞ්ජාරෝච් (සිරියාව) පරාජය කරන ලදි. (6/2, 6/3)
■ ටයිම් අල් අස්මී (සිරියාව) විසින් වට 2-0 ක් ලෙස ටෙහාන් විජේමාන්න (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. (6/2, 6/0)
■ ටයිම් අල් අස්මී සහ පෙයිරී ඞ්ජාරෝච් (සිරියාව) විසින් වට 2-0 ක් ලෙස චාතූර්ය නිලවීර සහ ධිල්වන් හේරත් (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදහ. (7/5, 6/3)