ඬේවිස් කුසලාන කනිෂ්ට ටෙනිස් තරගාවලියට සුදුසුකම් ලබාගැනීම සඳහා පැවැත්වෙන පූර්ව සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකාව අද (6 වැනිදා) සමත් විය. ‘ඩී’ කාණ්ඩයේ අවසන් පූර්ණ තරගයේදී තරග 2-1 ක් ලෙස මැලේසියාව පරාජය කරමින් ශ්‍රී ලංකා ටෙනිස් ක්‍රීඩකයෝ‘ ඩී’ කාණ්ඩයේ පෙරමුණ ගැනීමටද සමත් වූහ.
ඒ අනුව හෙට (7 වැනිදා) පැවැත්වෙන දෙවැනි අර්ධ අවසන් පූර්ව තරගයේදී වියට්නායමයට එරෙහිව ශ්‍රී ලංකාව තරග බිමට පිවිසීමට නියමිතය.
වියට්නාමයට එරෙහි තරගයෙන් ජය ලැබුවහොත් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයේදී ලෙබනනයට හෝ පැසිපික් සාගර කලාපීය කණ්ඩායමට එරෙහිව තරග වැදීමට සිදුවනු ඇත.
මෙම තරගාවලියේ එක් පූර්ණ තරගයක් කේවල තරග 2 කින් සහ යුගල තරගයකින් සමන්විත වේ. ඉතා තියුණු සටනකින් අනතුරුව මැලේසියාවට එරෙහිව අද (6 වැනිදා) පැවැති පූර්ණ තරගයේ කේවල තරග 2 ජයගත් ශ්‍රී ලංකාව, යුගල තරගයේදී මැලේසියාව හමුවේ පරාජයට පත්විය.
කෙසේ වුවත් සමස්ත තරගයෙන් 2-1 ක ජයක් ලැබීම නිසා මූලික වටය අවසන්වන විට සිය අපරාජිත බව රැකගැනීමට මෙන්ම ‘ඩී’ කාණ්ඩයේ පෙරමුණ ගැනීමටද ශ්‍රී ලංකාවට හැකි විය. ‘ඩී’ කාණ්ඩය යටතේ ඊයේ (5 වැනිදා) සහ පෙරේදා (4 වැනිදා) පැවැති තරග වලදී බහරේනය සහ ඕමානය පරාජය කිරීමටද ශ්‍රී ලංකාව සමත් විය.
තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට චාතූර්ය නිලවීර, ටෙහාන් විජේමාන්න, ධිල්වන් හේරත් සහ නේලක දිසානායක යන ක්‍රීඩකයෝ ඇතුළත්ව සිටිති. කණ්ඩායමේ ක්‍රීඩා නොකරන නායකයා ලෙස කටයුතු කරනු ලබන්නේ සුදන්ත සොයිසා මහතාය.
හෙට පැවැත්වෙන සෙසු අර්ධ අවසන් පූර්ව තරගවලදී ලෙබනනයට එරෙහිව පැසිපික් සාගර කලාපීය කණ්ඩායමද, සිංගප්පූරුවට එරෙහිව තුර්ක්මේනිස්ථානයද, මැලේසියාවට එරෙහිව සිරියාවද තරග වැදීමට නියමිතය. මෙම තරගාවලියේ සියලුම තරග කොළඹ ටෙනිස් සංගම් මූලස්ථාන ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
මැලේසියාවට එරෙහිව තරග 2-1 ක ජයක්
■ චාතූර්ය නිලවීර විසින් වට 2-1 ක් ලෙස මිට්සුකි ලියෝන් පරාජය කරන ලදි. (2/6, 6/1, 7/5)
■ ටෙහාන් විජේමාන්න විසින් වට 2-0 ක් ලෙස හේඞ්න් මෙනන් පරාජය කරන ලදි. (6/4, 6/4)
■ හේඞ්න් මෙනන් සහ මිට්සුකි ලියෝන් විසින් වට 2-0 ක් ලෙස ධිල්වන් හේරත් සහ චාතූර්ය නිලවීර පරාජය කරන ලදහ. (6/0, 6/0)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.