Last Update  :  2026-02-25 19:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකාව ලෝක කුසලානයෙන් ඉවතට
විස්සයි-20 ලෝක කුසලාන

ශ්‍රී ලංකාව ලෝක කුසලානයෙන් ඉවතට

editorial - 2026 පෙබ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙන‍ාගේ වට‍යේ දෙවැනි කොටස යටතේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ඊයේ (25 වැනිදා) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති තීර්ණාත්මක තරගයෙන් ලකුණු 61 ක අවමන් සහගත පරාජයක් ලැබීම හේතුවෙන් ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට සුදුසුකම් නොලබාම තරගාවලියෙන් ඉවතට විසිවිය.

දඟ පන්දු යවන්නන්ට වඩාත් උචිත ලෙස සකසා තිබූ තණතීරුවක නවසීලන්ත පන්දු යවන්නන් හමුවේ එකා පිට එකා කඩුලු පූජා කළ ශ්‍රී ලංකා පිකිකරුවෝ, මුලු මහත් ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලීන්ගේ බලාපොරොත්තු සුනුවිසුණු කර දැමූහ. නවසීලන්ත කණ්ඩායමේ අතිරේක දඟ පන්දු යවන්නකු වන රචින් රවින්ද්‍ර හමුවේ නායක දසුන් ශානකද ඇතුළුව පිතිකරුවන් සිවුදෙනකුම දැවී ගියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු බළෑණියේ තරම ලොවටම කියා පාමිනි.

ශ්‍රී ලංකා ඉනිමේ පළමු පන්දුවම කඩුල්ල තුළට දෝලනය කළ මැතිව් හෙන්රි, ක්‍රීඩාංගණය‍ට ආ පයින්ම ආපසු ක්‍රීඩාගාරය වෙත යෑමට පැතුම් නිස්සංකට මාවත විවර කර දුන්නේය. මෙවර තරගාවලියේදී සිය පළමු තරගයට ක්‍රීඩා කළ හිටපු නායක චරිත් අසලංක (5), හෙන්රිගේ කෙටි පන්දුවක් හමුවේ වගකීම් විරහිත පහරක් එල්ල කරමින් දැවී ගියේ මිඩ් විකට් කළාපයේ පන්දු රකිමින් සිටි ඩර්ලි මිචෙල් අතට පහසු උඩ පන්දුවක් ලබා දෙමිනි.

ඉන් අනතුරුව කඩුලු රැකගැනීමේ අරමුණින් ආරක්ෂාකාරී පිතිහරඹයක නිරත වූ කුසල් මෙන්ඩිස් (11) සහ පවන් රත්නායක (10) පිටියෙන් ඉවත්ව ගියේ රචින් රවින්ද්‍ර යැවූ පළමු නීත්‍යානුකූල පන්දු දෙකේදී කඩුලු රකින ක්‍රීඩක ටිම් සෙයිෆට්ගේ දක්ෂ ස්ටම්ප් කිරීම් දෙකකට හසුවෙමිනි. රවින්ද්‍රගේ තෙවැනි ගොදුර බවට පත් වූ දසුන් ශානක, නැවත වරක් දඟ පන්දු යවන්නන් හමුවේ තමාගේ දුර්වල ක්‍රීඩා විලාශය ප්‍රදර්ශනය කරමින් ලකුණු 3 ක් ලබා සිටියදී ගොස් ක්‍රීඩාංගණයේ අසුන් ගත්තේය.

නවසීලන්ත පන්දු යවන්නන් හමුවේ තරමක් හෝ හිස එසවූ කමිඳු මෙන්ඩිස් පන්දු 23 කදී හතරේ පහර 4 ක් සමග ලකුණු 31 ක්ද, දුනිත් වෙල්ලාලගේ පන්දු 23 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 29 ක්ද රැස්කළ නමුත් ඔවුන්ගේ ඉනිම් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑම සඳහා කිසිසේත්ම ප්‍රමාණවත් නොවීය. මිචෙල් සෑන්ට්නගේ පන්දුවක් හමුවේ කමිඳුත්, ග්ලේන් පිලිප්ස්ගේ පන්දුවක් හමුවේ වෙල්ලාලගේත් දැවී යෑමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් බලාපොරොත්තුවත් ගිළිහී ගියේය.

කාසියේ වාසිය දිනූ දසුන් ශානක පන්දු රැකීමට ගත් විමතිය දනවන තීරණය හේතුවෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්තය ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 168 ක් ලබාගත්තේය. ලකුණු 84 කට කඩුලු කඩුලු 6 ක් බිඳවැටී අසීරු තත්වයකට පත්ව තිබූ නවසීලන්ත ඉනිම එම තත්වයෙන් මුදවාගත් නායක මිචෙල් සෑන්ට්නර් (41) සහ කෝල් මැකෙන්චි (නොදැවී 31) හත්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 47 කදී ලකුණු 84 ක ‍අගනා සම්බන්ධතාවක් ගොඩනගමින් සිය කණ්ඩායම තරගයක් දිය හැකි ලකුණු සංඛ්‍යාවක් කරා ගෙන ගියහ.  

දක්ෂ පන්දු යැවීම්හි නිරත වූ මහීෂ් තීක්ෂණ සහ දුෂ්මන්ත චමීර කඩුලු 3 බැගින් බිඳහෙළීමට සමත් වුවද, නවසීලන්ත ඉනිමේ අවසන් පන්දුව තෙක්ම එම සම්බන්ධතාව බිඳ දැමීමට ඔවුහු අපොහොසත් වූහ. එහිදී පන්දු 26 කට මුහුණදුන් සෑන්ට්නර් හයේ පහර 4 කින් සහ හතරේ පහර 2 කින් සිය ඉනිම සැරසූ අතර පන්දු 23 කදී වාර්තා වූ මැකෙන්චිගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් ඇතුළත් විය.

විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගයකදී ඕනෑම කණ්ඩායමක පිතිකරුවන් දෙදෙනකු එක්ව 7 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ ඉහළම සම්බන්ධතාව මෙය වූ අතර ඕස්ට්‍රේලිය‍ාවේ ස්ටීවන් ස්මිත් සහ මයික් හසී එක්ව 2010 වසරේදී බංග්ලාදේශයට එරෙහිව ගොඩනගා තිබූ ලකුණු 74 සම්බන්ධතාව මින් පෙර ඒ සඳහා පැවැති ඉහළම සම්බන්ධතාව විය.

තෙවැනි ඕවරයේදී ඩිල්ෂාන් මධුෂංකගේ පන්දුවක් හමු‍වේ ටිම් සෙයිෆට් ලබාදුන් උඩ පන්දුවක් ෂෝට් තර්ඩ් මෑන් කළාපයේ සිට බිම දැමූ මහීෂ් තීක්ෂණ, සිව්වැනි ඕවරයේ යැවූ පළමු පන්දුවේදීම තමා අතටම පැමිණි ෆින් ඇලන්ගේ (23) උඩ පන්දුවක් රැකගනිමින් නවසීලන්ත පළමු කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 30 කට සීමා කළේය. පස්වැනි ඕවරයේදී පන්දුවට අතට ගත් දුෂ්මන්ත චමීර ලකුණු 8 ක් ලබා සිටි ටිම් සෙයිෆට්ව ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවීමට සමත් වූයේ ස්කුවෙයාර් ලෙග් කලාපයේ පන්දු රකිමින් සිටි කමිඳු මෙන්ඩිස් රැකගත් අනර්ඝ උඩ පන්දුව හේතුවෙනි.

එතැන් පටන් තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 31 කදී ලකුණු 41 ක සම්බන්ධතාවක් ගොඩනැගූ රචින් රවින්ද්‍ර (32) සහ ග්ලේන් පිලිප්ස් (18) නවසීලන්ත ඉනිමට නව ජවයක් එක් කළහ. කෙසේ වුවත් යළිත් ක්‍රියාත්මක වූ චමීර එම සම්බන්ධතාවට තිත තැබුවේ මුලු ලකුණු සංඛ්‍යාව 75 ක්ව තිබියදී පිලිප්ස්ගේ කඩුල්ල බිඳ දමමිනි. නවසීලන්ත ලකුණු පුවරුවට තවත් ලකුණු 9 ක් එක්වන විට තීක්ෂණගේ පන්දුවක් හමුවේ බැක්වඩ් පොයින්ට් කළාපයේ පන්දු රකිමින් සිටි දුෂාන් හේමන්ත අතට උඩ පන්දුවක් ලබාදීම හේතුවෙන් රවින්ද්‍රටද පිටියෙන් ඉවත්ව යෑමට සිදුවිය.

රවින්ද්‍රගේ දැවී යෑමෙන් පසුව පන්දු 5 ක් ඇතුළත එක් ලකුණක් හෝ එක්කාසු වූමට පෙරාතුව තවත් කඩුලු 2 ක් බිඳවැටීමෙන් නවසීලන්ත ලකුණු පුවරුව කඩුලු 6 කට ලකුණු 84 ක් බවට පත් විය. තීක්ෂණ සහ දුනිත් වෙල්ලාලගේ එම කඩුලු දෙකේ හිමිකරුවෝ වූහ. කෙසේ වුවත් කෙමෙන් කෙමෙන් ප්‍රහාරය දියත් කළ සෑන්ට්නර් සහ මැකොන්චි ඉනිම අග්ගිස්සේ ඕවරවලදී ලකුණු ලබාගැනීමේ වේගය වැඩි කරමින් අවසන් ඕවර 5 තුළ ලකුණු 78 ක් සිය කණ්ඩායමට එක්කර දීමට සමත් වූහ.

 එංගලන්තයට එරෙහිව පැවැති තරගයට ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු කමිල් මිෂාරට මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථානය අහිමි වූ අතර ඔහු වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩක චරිත් අසලංක කණ්ඩායමට කැඳවා සිටි‍යේය. ඒ අනුව මෙම තරග‍යේදී පැතුම් නිස්සංක සමග කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා ඉනිම ඇරඹූ අතර චරිත් අංක 3 ස්ථානයේ පන්දුවට පහර දුන්නේය. නවසීලන්ත කණ්ඩායමද එක් වෙනස්කමක් සමග මෙම තරගයට ක්‍රීඩා කළ අතර එහිදී ජිමී නීෂම් වෙනුවට කෝල් මැකොන්චි කණ්ඩායමට කැඳවා සිටියේය.  

ලකුණු පුවරුව
නවසීලන්තය
ටිම් සෙයිෆට් - ඇ.කමිඳු ප.චමීර                  8
ෆින් ඇලන් - ඇ. සහ ප.තීක්ෂණ               23
රචින් රවින්ද්‍ර - ඇ.හෙමන්ත ප.තීක්ෂණ     32
ග්ලේන් පිලිප්ස් - ප.චමීර                         18
ඩර්ලි මිචෙල් - ප.වෙල්ලාලගේ                  3
මාක් චැප්මන් - ප.තීක්ෂණ                         0
මිචෙල් සෑන්ට්න්නර් - ඇ.චරිත් ප.චමීර     47
කෝල් මැකොන්චි - නොදැවී                   31
අතිරේක                                                   6
එකතුව ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී       168

පන්දුවට පහර නොදුන් පිතිකරුවෝ:
මැතිව් හෙන්රි, ඉෂ් සෝධි සහ ලොකී ‍ෆර්ගසන්

කඩුලු වැටීම:
1-30(ඇලන්), 2-34(සෙයිෆට්), 3-75(පිලිප්ස්), 4-84(රවින්ද්‍ර), 5-84(චැප්මන්), 6-84(මිචෙල්), 7-168(සෑන්ට්නර්)


පන්දු යැවීම:
ඩිල්ෂාන් මධුෂංක 3-0-34-0
දුනිත් වෙල්ලාලගේ 4-0-27-1
මහීෂ් තීක්ෂණ 4-0-30-3
දුෂ්මන්ත චමීර 4-0-38-3
දුෂාන් හේමන්ත 2-0-22-0
චරිත් අසලංක 3-0-16-0

 

ශ්‍රී ලංකාව
පැතුම් නිස්සංක - ප.හෙන්රි                          0
කුසල් මෙන්ඩිස් - ස්ට.සෙයිෆට් ප.රවින්ද්‍ර    11
චරිත් අසලංක - ඇ.මිචෙල් ප.හෙන්රි            5
පවන් රත්නායක - ස්ට.සෙයිෆට් ප.රවින්ද්‍ර   10
කමිඳු මෙන්ඩිස් - ඇ.පිලිප්ස් ප.සෑන්ට්නර්    31
දසුන් ශානක - ඇ.ඇලන් ප.රවින්ද්‍ර                3
දුෂාන් හේමන්ත ඇ.මිචෙල් ප.රවින්ද්‍ර            3
දුනිත් වෙල්ලාලගේ - ඇ.රවින්ද්‍ර ප.පිලිප්ස්   29
දුෂ්මන්ත චමීර - නොදැවී                              7
මහීෂ් තීක්ෂණ - නොදැවී                              1
අතිරේක                                                      7
එකතුව ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී         106

පන්දුවට පහර ‍නොදුන් පිතිකරුවා:
ඩිල්ෂාන් මධුෂංක

කඩුලු වැටීම :
1-00(පැතුම්), 2-06(චරිත්), 3-27(කුසල්), 4-29(පවන්), 5-46(දසුන්), 6-59(දුෂාන්), 7-77(කමිඳු), 8-105(වෙල්ලාලගේ)

පන්දු යැවීම:
මැතිව් හෙන්රි 2-1-03-2
කෝල් මැකෙන්චි 3-0-20-0
මිචෙල් සෑන්ට්නර් 4-0-19-1
ලොකී ෆර්ගසන් 1-0-02-0
ඉෂ් සෝධි 2-0-13-0
රචින් රවින්ද්‍ර 4-0-27-4
ග්ලේන් පිලිප්ස් 4-0-21-1

 

 


අදහස් (0)

ශ්‍රී ලංකාව ලෝක කුසලානයෙන් ඉවතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.