Last Update  :  2024-04-29 19:38:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකාව ලකුණු 46 කින් ඉදිරියට පනී

ශ්‍රී ලංකාව ලකුණු 46 කින් ඉදිරියට පනී

Nisanka Sandeepani - 2018 නොවැ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සියලු අභියෝග හමුවේ ධෛර්යවත් ලකුණු රැස්කිරීමක යෙදුණු රොෂේන් සිල්වාගේ විශිෂ්ට පිතිහරඹය නිසා පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී එංගලන්තයට වඩා ලකුණු 46 කින් ඉදිරියට පැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. 


පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම ලබාගත් ලකුණු 290 ට පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය මුල් ඉනිම වෙනුවෙන් ලකුණු 336 ක් ලබාගත්තේය. තරගයේ දෙවැනි දිනය වන අද (15 වැනිදා) සවස ක්‍රීඩාව නතර කිරීමට පෙර එංගලන්ත පිල මුහුණ දුන් එකම ඕවරය නිලකුණු ඕවරයක් විය. 


පස්වැනි කඩුල්ල දැවීයාමෙන් පසුව පිටියට පිවිසි රොෂේන් සිල්වා ශ්‍රී ලංකා පිලේ ලකුණු සංඛ්‍යාව 300 සීමාවෙන් ඔබ්බට තල්ලු කළේ අගනා සම්බන්ධතා තුනක් ගොඩනඟමිනි. 7 වැනි, 8 වැනි සහ 9 වැනි කඩුලු වෙනුවෙන් පිළිවෙලින් ලකුණු 46 ක, 41 ක සහ 56 ක සම්බන්ධතා ගොඩනැංවූ රොෂේන් සිල්වා සිය නායකයා වූ සුරංග ලක්මාල් සමග එක්ව 10 වැනි කඩුල්ල සඳහා එක්කළ ලකුණු 28 හේතුවෙන් ශ්‍රී ලංකා පිලට ලකුණු 46 ක මුල් ඉනිමේ වාසියක් ලැබිණ. 


මෙම තණතීරුවේ ස්වභාවය දෙස බලද්දීත්, තරගයේ සිව්වැනි ඉනිමේදී පන්දුවට පහර දීමේ අභියෝගය ඇත්තේ ශ්‍රී ලංකා පිලට වීමත් හෙයින් මුල් ඉනිමේදී ලබාගත් ලකුණු 46 ක වාසිය මිල කළ නොහැකිය. 


විනාඩි 217 ක් පිටියේ රැඳුනු රෙෂේන් සිල්වා පන්දු 174 කට මුහුණ දෙමින් ඒවායින් 5 ක් හතරේ සීමාවෙන් එපිටට යැවීය. ඉන් එකක් හයේ පහරක් විය. 


මුලු ලකුණු සංඛ්‍යාව කඩුලු 8 කට 273 ක්ව තිබියදී ජැක් ලීච්ගේ පන්දුවක් තර්ඞ් මෑන් කලාපයට යැවූ රොෂේන් සිල්වා ලකුණු කරා දිවගියේය. මේ අතරවාරයේදී පන්දුව හඹා ගිය මුයින් අලීට පන්දුව නතර කරගැනීමට හැකිවූයේද නැතහොත් පන්දුව හතරේ සීමාවට ගියේද යන්න පිළිබඳ අවධානයෙන් සිටි හෙයින් පන්දු යවන්නාගේ අන්තයේදී පිත්ත හරිහැටි බිම තැබීමට රොෂේන්ට නොහැකි විය. මෙම හේතුව නිසා ක්‍රිකට් නීති පොතේ අංක 18.5 නීතිය යටතේ රොෂේන් ලබාගත් ලකුණු අවලංගු කිරීමටත් ශ්‍රී ලංකා පිලට දඬුවම් ලෙසින් එංගලන්තයට ලකුණු 5 ක් පිරිනැමීමටත් විනිසුරු මාරියස් එරැස්මස් මහතා පියවර ගත්තේය. 


විනිසුරුවරයාගේ තීරණය මත එංගලන්ත මුල් ඉනිමේ ලකුණු සංඛ්‍යාව 285 සිට 290 දක්වා ඉහළ දමන ලද නමුත් 9 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 56 ක අමිල සම්බන්ධතාවක් ගොඩනැංවූ රොෂේන් සිල්වා සහ අකිල ධනංජය දෙදෙනා ශ්‍රී ලංකා පිල එංගලන්තයට වඩා ඉදිරියට ගෙන ගියහ. 


එංගලන්ත කණ්ඩායමේ සිටින භයානකම තුන් ඉරියව් ක්‍රීඩකයා වන බෙන් ස්ටෝක්ස් පන්දු 14 ක් ඇතුළතදී දෑතින් කළ පෙරළිය නිසා දිවා ආහාරයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම සතුව තිබූ වාසිය දෙපිල අතර රේඛාවේ හරි මැදට පැමිණියේය. එහෙත් පසුව  ශ්‍රී ලංකා පිතිකරුවෝ එය තමන් වෙතට ඇදගත්හ. 


ජේම්ස් ඇන්ඩසන්ගේ පන්දුවක් හමුවේ ධනංජය සිල්වා ලකුණක් කරා දිව යද්දී එක්ස්ට්‍රා කවර්ස් සිට පන්දුව අහුලා ගත් ස්ටෝක්ස් සිය දකුණතින් පන්දුව කඩුල්ල වෙත දමා ගසමින් දිමුත් කරුණාරත්නගේ ඉනිම ලකුණු 63 දී අවසන් කළේය. ඕවර දෙකකට පසු ස්ලිප් ස්ථානයට ගිය ස්ටෝක්ස් එහි සිට කුසල් මෙන්ඩිස්ගේ උඩපන්දුව රැකගත්තේ වම් අතිනි. 


ස්ටෝක්ස්ගේ මෙම ද්විත්ව ක්‍රියාකාරී වීමට පෙර කඩුලු 2 ක් දැවී ලකුණු 127 ක් ලෙසින් සටහන්ව තිබූ ශ්‍රී ලංකා ලකුණු පුවරුව පන්දු 14 ක් ඇතුළතදී කඩුලු 4 ට 136 ක් ලෙස වෙනස් විය. දිවා ආහාරයෙන් පසුව තත්ත්වය තවත් නරක අතට හැරුණේ ලකුණු 165 ක් තුළ හයවැනි කඩුල්ලත් ඇද වැටුණු බැවිනි. 


කෙසේ වෙතත් අවසන් කඩුලු හතරට ලකුණු 171 ක් එක්කළ රොෂේන් සිල්වා ප්‍රමුඛ පසුපෙළ පිතිකරුවෝ ශ්‍රී ලංකා පිල පෙරට කැඳවාගෙන ගියහ. 


වමතින් දඟ පන්දු යවන්නා වන ජැක් ලීච් ශ්‍රී ලංකා පිලට සිටි ලොකුම කරදරකාරයා වූයේය. ලීච් කඩුලු 3 ක් දවාගනිද්දී අදිල් රෂීඞ් තවත් කඩුලු 3 ක් දවාගත්තේය. එහෙත් පිටියේ මැද පතිත කළ රෂීඞ්ගේ පන්දු හමුවේ ලකුණු ලබාගැනීමේ අවස්ථා කොතෙකුත් තිබිණ. 

 

 

ඡායාරූප - ඒ එෆ් පී ඇසුරෙනි 


අදහස් (0)

ශ්‍රී ලංකාව ලකුණු 46 කින් ඉදිරියට පනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.