Last Update  :  2026-02-24 18:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකාව රැකෙම්වා හෝ මියෙම්වා තරගයක
විස්සයි-20 ලෝක කුසලාන

ශ්‍රී ලංකාව රැකෙම්වා හෝ මියෙම්වා තරගයක

editorial - 2026 පෙබ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තුළ ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරි ගමන තීරණය වන අතිශය තීර්ණාත්මක තරගය අද (25) නවසීලන්තයට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පස්වරු 7.00 ට ආරම්භවනු ඇත. ශ්‍රී ලංකාවට තවදුරටත් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමේ බලාපොරොත්තු රඳවාගත හැකි වන්නේ මෙම තරගයේදී නවසීලන්තය පරාජය කළහොත් පමණක් වීම ඊට හේතු වී තිබේ.

මූලික වටයේ අවසන් තරගයේදී සිම්බාබ්වේ කණ්ඩායම හමුවේ පරාජයට පත්වූ ශ්‍රී ලංකාව, සුපිරි 8 දෙනාගේ වටයේදී මුහුණදුන් පළමු තරගයේදීද එංගලන්තය හමුවේ පරාජය වීම හේතුවෙන් මේ වන විට දැඩි අසීරුතාවයකට පත්ව සිටියි. යම් හෙයකින් ඔවුන් අද පැවැත්වෙන තරගයේදී එංගලන්තය හමුවේ පරාජයට පත්වුවහොත් එළබෙන සෙනසුරාදා (28 වැනිදා) ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පල්ලෙකැලේදී පැවැත්වෙන තරගය හුදෙක් ප්‍රදර්ශන තරගයක් පමණක් බවට පත්වනු ඇත.

පාකිස්තානය සහ නවසීලන්තය අතර කොළඹදී පැවැත්වීමට නියමිතව තිබූ තරගයද වර්ෂාවට සේදී යෑම හේතුවෙන් කණ්ඩායම් දෙකටම ප්‍රසාද ලකුණ බැගින් හිමිවූ අතර ශ්‍රී ලංකාවට එරෙහිව වාර්තා කළ ජයග්‍රහණය හේතුවෙන් එංගලන්තය ප්‍රසාද ලකුණු 2 ක් ලබා නවසීලන්තයට සහ පාකිස්තානයට ඉදිරියෙන් සිටියි. එබැවින් ශ්‍රී ලංකාවට තවදුරටත් තරගවලිය තුළ රැදී සිටීම සඳහා ඉතිරි තරග දෙකම ජයගැනීම අත්‍යවශ්‍ය සාධකයක් වී ඇත.

අද තරගය සම්බන්ධයෙන් ඊයේ (24) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ දුනිත් වෙල්ලාලගේ කියා සිටියේ එංගලන්තය හමුවේ ලැබූ පරාජය පසෙකලා නැවුම් මුහුණුවරකින් අද තරගයට සහභාගි වන බවය. පෙර තරග දෙකේදී සිදුවූ වැරදි නිවැරදි කරගැනීමට මෙම තරගය අවස්ථාවක් කරගන්නා බවත්, ඒ තුළින් තරගාවලියේ තරගයෙන් තරගය ඉදිරියට යෑමට බලාපොරොත්තු වන බවත් එහිදී ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

තරගයෙන් තරගයට ක්‍රීඩා කරන තණතීරු පිළිබඳව තීරණ ගන්නේ අනතර් ජාතික ක්‍රිකට් සභාව බවත්, හිමිවන තණතීරුව කෙසේ වුවත් ඊට උචිත අයුරින් ක්‍රීඩා කිරීම කණ්ඩායමේ වගකීමක් බවත් සඳහන් කළ වෙල්ලාලගේ, එම තත්වය ශ්‍රී ලංකා කණ්ඩායමට පමණක් නොව ඕනෑම කණ්ඩායමකට පොදු කරුණක් බවද අවධාරණය කළේය. එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේද පැවසීය.

“ක්‍රීඩා කරන පිච් එක මොකක්ද කියන එක තීරණය කරන්නේ අපි නෙමේ අයි.සී.සී. එක. අපිට තියෙන්නෙ ලැබෙන පිච් එකට අනුව හැඩ ගැහිලා ක්‍රීඩා කරන්න විතරයි. පිච් එක දිහා බලලා තමයි එදාට ක්‍රීඩා කරන අන්තිම 11 දෙනා කවුද කියන එක තීරණය කරන්නෙ. ඒ හින්දා දැන්ම ඒ ගැන ‍මුකුත් කියන්න බැහැ. මේ තරගයෙදි අපිට හම්බෙන පිච් එක මොකක් වුණත් තම තමන්ගෙ උපරිමය දීලා තරගය දිනවන්න කණ්ඩායමේ ක්‍රීඩකයො සූදානම් වෙලා ඉන්නවා.”

“අපි පන්දුවට පහර දෙනකොට මට හැම වෙලේම ලෑස්ති වෙලා ඉන්න කියලා තියෙන්නෙ. ගොඩක් වෙලාවට මම අංක 7, 8 තමයි පන්දුවට පහර දෙන්නෙ. ඒත් හදිස්සියෙ හරි ලකුණු අඩු වෙලාවක ඕවර දෙක තුනක් අවදානමක් අරගෙන ගහන්න ඕන වුණොත් මට බැටින් ඕඩර් එක් උඩින් ගිහින් පන්දුවට පහර දෙන්න තමයි ඒහෙම තියලා තියෙන්නෙ. ඉතින් ඒ ඒ වෙලාව අනුව කණ්ඩායම මගෙන් බලාපොරාත්තු වෙන දේ කරන්න මම ලෑස්ති වෙලා ඉන්නවා.” යැයිද වෙල්ලාලගේ කියා සිටියේය.

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර මේ දක්වා විස්සයි-20 තරග 28 ක් පවත්වා ඇති අතර ඉන් තරග 16 ක් ජයගැනීමට නවසීලන්තයත්, තරග 11 ක් ජයගැනීමට ශ්‍රී ලංකාවත් සමත්ව තිබේ. එක් තරගයක් විසඳුමකින් තොරව නිමාවට පත්ව ඇත. විස්සයි-20 ලෝක කුසලාන තරගාවලි තුළදී මෙම කණ්ඩායම් දෙක අවස්ථා 6 කදී මුහුණට මුහුණ හමුවී ඇති අතර ඉන් අවස්ථා 4 කදී ශ්‍රී ලංකාවත්, අවස්ථා 2 කදී නවසීලන්තයත් ජය ලබා ඇත.

 


අදහස් (0)

ශ්‍රී ලංකාව රැකෙම්වා හෝ මියෙම්වා තරගයක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.