ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට
ඬේවිස් කුසලාන කනිෂ්ට ටෙනිස් තරගාවලියට සුදුසුකම් ලබාගැනීම සඳහා පැවැත්වෙන පූර්ව සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට ශ්‍රී ලංකාව අද (7 වැනිදා) සමත් විය. ඒ අර්ධ අවසන් පූර්ව වටයේදී වියට්නාමයට එරෙහිව පැවැති පූර්ණ තරගය 2-1 ක් ලෙස ජය ලබමිනි.
කොළඹ ටෙනිස් සංගම් මූලස්ථාන ක්‍රීඩාංගණයේදී හෙට (8 වැනිදා) පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරගයේදී ලෙබනනයට එරෙහිව ශ්‍රී ලංකාව තරග බිමට පිවිසෙනු ඇත. එම තරගයෙන් ජය ලැබුවහොත් ශ්‍රී ලංකාව අවසන් මහ තරගයේදී සිංගප්පූරුවට හෝ සිරියාවට එරෙහිව තරග වැදීමට නියමිතය.
අවසන් මහ තරගයේ ප්‍රතිඵලය කුමක් වුවත් ඊට සහභාගි වන කණ්ඩායම් දෙකම ඬේවිස් කුසලාන කනිෂ්ඨ තරගාවලියේ ප්‍රධාන සුදුසුකම් ලබාගැනීමේ වටයට තේරී පත්වනු ඇත. එම නිසා තවදුරටත් තරගාවලියේ ඉදිරියට යෑමට නම් ශ්‍රී ලංකා කණ්ඩායම අනිවාර්යෙන්ම හෙට තරගය ජයගත යුතුව තිබේ.
මෙම තරගාවලියේ එක් පූර්ණ තරගයක් කේවල තරග 2 කින් සහ යුගල තරගයකින් සමන්විත වේ. වියට්නාමයට එරෙහිව අද (7 වැනිදා) පැවැති පූර්ණ තරගයේ පළමු කේවල තරගයේදී වට 2-0 ක් ලෙස වින් හෙයින් ට්‍රෝන් පරාජය කිරීමට චාතුර්ය නිලවීර සමත් විය.
එහෙත් දෙවැනි තරගයේදී වට 2-0 ක් ලෙස ටෙහාන් විජේමාන්න පරාජය කිරීමට නාට් කුවාන් ගුයෙන් සමත් වීමත් සමග පූර්ණ තරගය 1-1 ලෙස සම තත්වයට පත්විය. කෙසේ වුවත් යුගල තරගයේදී ඩුවොන් ඩයි කාඕ සහ වින් හෙයින් ට්‍රෝන් පරාජය කිරීමට ධිල්වන් හේරත් සහ චාතුර්ය නිලවීර සමත් වීමත් සමග සමස්ත තරගයෙන් 2-1 ක ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකාවට හැකි විය.
වියට්නාමයට එරෙහිව තරග 2-1 ක ජයක්
■ චාතූර්ය නිලවීර විසින් වට 2-0 ක් ලෙස වින් හෙයින් ට්‍රෝන් පරාජය කරන ලදි. (7/6, 6/4)
■ නාට් කුවාන් ගුයෙන් විසින් වට 2-0 ක් ලෙස ටෙහාන් විජේමාන්න පරාජය කරන ලදි. (7/6, 6/3)
■ ධිල්වන් හේරත් සහ චාතූර්ය නිලවීර විසින් වට 2-0 ක් ලෙස ඩුවොන් ඩයි කාඕ සහ වින් හෙයින් ට්‍රෝන් පරාජය කරන ලදහ. (6/1, 6/1)