Last Update  :  2024-05-18 14:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකාව 1-0 කින් ටෙස්ට් තරගාවලිය දිනයි

ශ්‍රී ලංකාව 1-0 කින් ටෙස්ට් තරගාවලිය දිනයි

සංජය එරමුදුගොඩ - 2018 පෙබ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තවත් දින 2 ක් ඉතිරිව තිබියදීම බංග්ලාදේශයට එරෙහිව ඩකාහි ශ්‍රේ බංග්ලා ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 215 ක ජයක් ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායම, දෙරට අතර පැවැති තරග දෙකකින් සමන්විත වූ ටෙස්ට් තරගාවලිය 1-0 ක් ලෙස ජයගැනීමට අද (10 වැනිදා) සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 339 ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායමේ දෙවැනි ඉනිම ලකුණු 123 කට සීමා කිරීමට අකිල ධනංජය සහ රංගන හේරත් ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.

සිය මංගල ටෙස්ට් තරගයට සහභාගි වූ අකිල ධනංජය ලකුණු 24 කට කඩුලු 5 ක් දවාගනිමින් බංග්ලාදේශ ඉනිමේ මැද පෙළ සුනුවිසුණු කර දැමුවේය. එම පන්දු යැවීමත් සමග මංගල ටෙස්ට් තරගයේදීම කඩුලු 5 ක් දවාගත් තෙවැනි ශ්‍රී ලංකා පන්දු යවන්නා බවට පත්වීමටද අකිල සමත් වූ අතර ඔහුට පෙර ශ්‍රී ලංකාව වෙනුවෙන් එවන් දස්කමක් දක්වා තිබුණේ කෝසල කුරුප්පුආරච්චි සහ උපුල් චන්දන පමණි. 1986 වසරේදී කොළඹ සී.සී.සී. ක්‍රීඩාංණයේදී පාකිස්තානයට එරෙහිව කෝසල එම දස්කම දක්වා තිබුණ අතර චන්දන එම දස්කම දක්වා තිබුණේ 1999 වසරේදී බංග්ලාදේශයේ බංගබන්දු ක්‍රීඩාංගණයේදී පාකිස්තානයට එරෙහිවය.

පළමු ඉනිමේදී කඩුලු දවාගැනීමට නොහැකි වුවද, ශ්‍රී ලංකා ජයග්‍රහණයට මාවත විවර කරමින් දෙවැනි ඉනිමේදී බංග්ලාදේශ ඉනිමේ මුල් පිතිකරුවන් තිදෙනකු පිටියෙන් ඉවත් කිරීමට රංගන හේරත් සමත් විය. බංග්ලාදේශ ඉනිමේ අවසන් කඩුල්ලද දවාගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය සනිටුහන් කළ හේරත්, තරගය අවසන් වන විට ලකුණු 49 කට කඩුලු 4 ක් දවාගෙන සිටියේය.

තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (9 වැනිදා) තරගය තතර කරන විට කඩුලු 8 ක් දැවී ලකුණු 200 ක් ලබා බංග්ලාදේශයට වඩා ලකුණු 312 ක් ඉදිරියෙන් සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට අද (10 වැනිදා) දිනයේදී සිය දෙවැනි ඉනිම වෙනුවෙන් එක්කරගත හැකි වූයේ තවත් ලකුණු 26 ක් පමණි. තයිජුල් ඉස්ලාම්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් දිනයේ පළමු කඩුල්ලේ ලෙස ලකුණු 21 ක් ලබා සිටි සුරංග ලක්මාල් දැවී ගිය අතර ඉන් පසුව පිටියට පිවිසි රංගන හේරත්ද මුහුණදුන් පළමු පන්දුවේදීදම කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීමට ඉස්ලාම් සමත් විය.

ශ්‍රී ලංකා ඉනිම නිමාවන තෙක්ම කඩුල්ල ආරක්ෂා කරගනිමින් ඉතා දක්ෂ ලෙස පන්දුවට පහරදුන් රොෂේන් සිල්වා, හතරේ පහර 10 ක් සමගින් නොදැවී ලකුණු 70 ක් ලබා ගත්තේය. මෙය රොෂේන්ගේ තෙවැනි ටෙස්ට් අර්ධ ශතකය වන අතර මේ දක්වා ටෙස්ට් තරග 3 කදී ඉනිම් 5 ක් ක්‍රීඩා කර ඇති ඔහු, ශතකයක් සහ අර්ධ ශතක 3 ක් සමගින් ලකුණු 309 ක් ලබාගෙන 103 ක සාමාන්‍යක් රඳවාගෙන සිටියි. ඒ අතරින් ශතකය සහ අර්ධ ශතක දෙකක්ම ඔහු ලබාගත්තේ මෙම තරගාවලියේදී වීම නිසා දෙවැනි තරගයේ වීරයා සම්මානයට මෙන්ම තරගාවලියේ වීරයා සම්මානයටද ඔහු හිමිකම් කීවේය.

ශ්‍රී ලංකා - බංග්ලාදේශ දෙවන ටෙස්ට් තරගයේ විශේෂ අවස්ථා...

- 036


අදහස් (0)

ශ්‍රී ලංකාව 1-0 කින් ටෙස්ට් තරගාවලිය දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.