ඬේවිස් කුසලාන කනිෂ්ට ටෙනිස් තරගාවලියට සුදුසුකම් ලබාගැනීම සඳහා පැවැත්වෙන සුදුසුකම් ලබාගැනීමේ අදියරේ අවසන් මහ තරගයට පිවිසීමට ශ්‍රී ලංකාව අද (8 වැනිදා) සමත් විය. අවසන් පූර්ව වටයේදී ලෙබනනයට එරෙහිව පැවැති තරගය 2-0 ක් ලෙස ජය ලබමින් ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අවසන් මහ තරගයට පිවිසියේය.
කොළඹ ටෙනිස් සංගම් මූලස්ථාන ක්‍රීඩාංගණයේදී හෙට (9 වැනිදා) පැවැත්වෙන අවසන් මහ තරගයේදී සිරියාවට එරෙහිව ශ්‍රී ලංකාව තරග බිමට පිවිසීමට නියමිතය. සිරියාව අවසන් මහ තරගයට පිවිසියේ අවසන් පූර්ව වටයේදී සිංගප්පූරුවට එරෙහිව වට 2-1 ක් ලෙස ජය වාර්තා කරමිනි.
අවසන් මහ තරගයේ ප්‍රතිඵලය කුමක් වුවත් ඊට සහභාගි වන කණ්ඩායම් දෙකම ඬේවිස් කුසලාන කනිෂ්ට තරගාවලියේ අවසන් සුදුසුකම් ලබාගැනීමේ අදියරට තේරී පත්වන බැවින් ශ්‍රී ලංකාව සහ සිරියාව මේ වන විටත් එම අවස්ථාව උදාකරගෙන සිටිති.
මෙම තරගාවලියේ එක් පූර්ණ තරගයක් කේවල තරග 2 කින් සහ යුගල තරගයකින් සමන්විත වුවත්, ලෙබනනයට එරෙහිව පැවැති කේවල තරග 2 ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් වීම නිසා එහි යුගල තරගය අත්හැර දැමීමට විනිසුරුවෝ තීරණය කළහ.
ඊයේ පැවැති පළමු කේවල තරගයේදී වට 2-1 ක් ලෙස මාර්කෝ ඇන්ටෝනියෝ පරාජය කිරීමට චාතූර්ය නිලවීර සමත් විය. ලකුණු 6/3 ක් ලෙස එම තරගයේ පළමු වට ජයගැනීමට ඇන්ටෝනියෝ සමත් වුවත්, ඉතා දක්ෂ ලෙස නැවතත් තරගයට අවතීර්ණ වූ චාතූර්ය, ලකුණු 6/0 ක් සහ 6/2 ක් ලෙස දෙවැනි සහ තෙවැනි වට ජයගනිමින් වට 2-1 ක් ලෙස සමස්ත තරගයේ ජය තමන් සතුකර ගත්තේය.
දෙවැනි කේවල තරගයේදී වට 2-0 ක් ලෙස ජලාල් සදෙක් පරාජය කිරීමට ටෙහාන් විජේමාන්න සමත් වූ අතර එහි ලකුණු තත්වය 6/2 ක් සහ 6/4 ක් ලෙස සටහන් විය. දෙවැනි වටයේදී ටෙහාන් සමග කරට කර සටනක නිරත වීමට ජලාල් සමත් වුවත්, ඔහුට එම වටයෙන් ජය ලැබීමට ටෙහාන් ඉඩක් ලබා නොදුන්නේය.
ඬේවිස් කුසලාන කනිෂ්ට තරගාවලියේ අවසන් සුදුසුකම් ලබාගැනීමේ අදියර අප්‍රේල් මස 6 වැනිදා සිට 14 වැනිදා දක්වා තායිලන්තයේදී පැවැත්වේ. ශ්‍රී ලංකාව සහ සිරියාවද සමගින් එම අදියරට ඇතුළත්ව සිටින ආසියානු පැසිපික් කලාපීය රටවල් සංඛ්‍යාව 16 කි.
ජපානය, උස්බෙකිස්තානය, ඕස්ටේ්‍රලියාව, හොං කොං, චීනය, කොරියාව, ඉන්දියාව, පිලිපීනය, නවසීලන්තය, තායිලන්තය, චීන තායිපේ, ඉන්දුනීසියාව, කසකස්තානය සහ පාකිස්තානය යන රටවල් අවසන් සුදුසුකම් ලබාගැනීමේ අදියර සඳහා පෙර සිටම සුදුසුකම් ලබා සිටියහ.
මෙම කණ්ඩායම් අතරට ශ්‍රී ලංකාව සහ සිරියාවත් එක්ව සිටිති.
පළමු අවසන් පූර්ව තරගයේ ප්‍රතිඵලය
■ චාතූර්ය නිලවීර (ශ්‍රී ලංකාව) විසින් වට 2-0 ක් ලෙස මාර්කෝ ඇන්ටෝනියෝ (ලෙබනනය) පරාජය කරන ලදි. (3/6, 6/0, 6/2)
■ ටෙහාන් විජේමාන්න (ශ්‍රී ලංකාව) විසින් වට 2-0 ක් ලෙස ජලාල් සදෙක් (ලෙබනනය) පරාජය කරන ලදි. (6/2, 6/4)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.