Last Update  :  2024-05-19 17:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා යොවුන් පිල හෙට තරග බිමට

ශ්‍රී ලංකා යොවුන් පිල හෙට තරග බිමට

සංජය එරමුදුගොඩ - 2018 ඔක් මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නවක ක්‍රීඩකයන් රැසකගෙන් සමන්විත ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම හෙට (16 වැනිදා) කොළඹ එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී සංචාරක බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට එරෙහිව තරග බිමට පිවිසීමට නියමිතය. එහිදී නිපුන් ධනංජය විසින් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමද, තොවුහිද් රිදෝයි විසින් බංග්ලාදේශ යොවුන් කණ්ඩායමද මෙහෙයවනු ලබති.

සිවුදින තරග 2 කට සහ එක්දින තරග 5 කට සහභාගි වීම සඳහා බංග්ලාදේශ යොවුන් කණ්ඩායම ඉකුත් 13 වැනිදා දිවයිනට පැමිණියේය. දෙරට අතර පළමු සිවුදින තරගය හෙට ආරම්භ වීමට නියමිත අතර එය ලබන 19 වැනිදා දක්වා පැවැත්වේ.

මේ මස මුල් සතියේදී නිමාවට පත්වූ යොවුන් ආසියානු කුසලාන තරගාවලියේ අනු ශුරතාව හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියට සහභාගි වන්නේ වෙනස්කම් 8 ක් සමගිනි. මෙම තරගාවලියේදී පසිඳු සූරියබණ්ඩාර, නිෂාන් මතුෂංක, නුවනිඳු ප්‍රනාන්දු, ශෂික දුල්ෂාන්, කල්හාර සේනාරත්න, කළණ පෙරේරා, නිපුන් මාලිංග සහ සෙල්වරාසා මතුෂාන් යන ක්‍රීඩකයන්ගේ සේවය ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට අහිමි වී තිබේ.

ඊට හේතුවී ඇත්තේ ඔවුන්ට 2020 වසරේ දකුණු අප්‍රිකාවේදී පැවැත්වීමට නියමත යොවුන් ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට නොහැකි වීමයි. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා යෙවුන් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු හෂාන් තිලකරත්න මහතා මෙසේ පැවසීය.

“ආසියානු තරගාවලියේදි අපිත් එක්ක හිටපු ක්‍රීඩකයන් කිහිප දෙනෙකුගේ සේවය මේ වෙනකොට අපිට අහිමි වෙලා තියෙනවා. ඒ ක්‍රීඩකයෝ 2020 වෙනකොට නියමිත වයස් සීමාව ඉක්මවා යනවා. එතකොට ඊලඟ ලෝක කුසලාන තරගාවලය වෙනකන් එයාලට කණ්ඩායමේ ඉන්න බැරි වෙනවා. ඒ නිසා තමයි මේ තරගාවලියට එයාලා ක්‍රීඩා කරන්නේ නැත්තේ.”

ආසියානු කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම මෙහෙයවූ නිපුන් ධනංජය සමගින් එම තරගාවලියට ක්‍රීඩා කළ කමිල් මිෂාර, නිවෝද් පරණවිතාන, දුනිත් වෙල්ලාලගේ, සඳුන් මෙන්ඩිස්, රොෂාන් සංජය, නවීන් ප්‍රනාන්දුද, එම තරගාවලිය සඳහා අතිරේක ක්‍රීඩකයන් ලෙස නම් කරනු ලැබ සිටි චිලාන් කලිඳු සහ විජයකාන්ත වියස්කාන්ත්ද බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන තරගාවලියේදී යළිත් ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවා සිටිති.

දිනෙත් ජයකොඩි, සොනාල් දිනූෂ, මොහොමඞ් ශමාස්, ජනිත් පෙරේරා, ඒ. දිල්හාර, සී. විජේසිංහ සහ අශේන් ඩැනියෙල් මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට ඇතුළත්ව සිටින නවක ක්‍රීඩකයෝ වෙති. තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම සම්බන්ධයෙන් හෂාන් තිලකරත්න මහතා මෙසේ අදහස් දැක්වීය.

“ආසියානු තරගාවලියෙන් පස්සේ අලුත් මුහුණු කිහිපයක් කණ්ඩායමට එක් වෙලා තියෙනවා. මේ අලුත් සංචිතය 2020 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීම සඳහා සූදානම් තියෙන ක්‍රීඩකයන්ගෙන් තමයි සමන්විත වෙලා තියෙනන්නේ. ඒ කියන්නේ 2000 වසරේ සැප්තැම්බර් මාසේ පළවෙනිදයින් පස්සෙ ඉපදුන අය තමයි මේ සංචිතයේ ඉන්නේ.”

“අපේ අලුත් සංචිතයේ පිතිකරුවන් 7 දෙනෙක්, තුන් ඉරියව් ක්‍රීඩකයන් 5 දෙනෙක් සහ වේග පන්දු යවන්නන් 3 දෙනෙක් ඉන්නවා. මං හිතනවා සංචියේ ඉන්න නවක ක්‍රීඩකයන්ට එයාලගේ අත්දැකීම් වැඩි දියුණු කරගන්න මේක හොඳ අවස්ථාවක් වෙයි කියලා.” යැයිද එහිදී තිලකරත්න මහතා පැවසීය.


ශ්‍රී ලංකා යොවුන් සංචිතය
නිපුන් ධනංජය (නායක), කමිල් මිෂාර, නවෝද් පරණවිතාන, දිනෙත් ජයකොඩි, සොනාල් දිනූෂ, මොහොමඞ් ශමාස්, ජනිත් පෙරේරා, දුනිත් වෙල්ලාලගේ, සඳුන් මෙන්ඩිස්, විජයකාන්ත වියස්කාන්ත, ඒ. දිල්හාර, චිලාන් කලිඳු, රොහාන් සංජය, සී. විජේසිංහ, නවීන් ප්‍රනාන්දු සහ අශේන් ඩැනියල්

අතිරේක ක්‍රීඩකයෝ
එම්.සී. ප්‍රේමදාස, ප්‍රවීන් ද සිල්වා, ආර්. ද සිල්වා, අවිෂ්ක තරිඳු

 


අදහස් (0)

ශ්‍රී ලංකා යොවුන් පිල හෙට තරග බිමට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.