Last Update  :  2026-02-23 11:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා පිලට ලජ්ජා සහගත පරාජයක්
විස්සයි-20 ලෝක කුසලාන

ශ්‍රී ලංකා පිලට ලජ්ජා සහගත පරාජයක්

editorial - 2026 පෙබ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 
(ශානුක අරවින්ද)
 
විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටයේ දෙවැනි කොටස යටතේ මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (22 වැනිදා) පැවැති තරගයේදී ශ්‍රී ලංකාවට එරෙහිව කඩුලු 51 ක පහසු ජයක් වාර්තා කිරීමට එංගලන්තය සමත් විය. මෙම පරාජය හේතුවෙන් ශ්‍රී ලංකාව දෙවැනි කොටසේ අවසන් ස්ථානය දක්වා ඇද වැටිණ. 
 
ජයග්‍රහණය සඳහා ලකුණු 147 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායමට එංගලන්ත පන්දු යවනන්න්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 16.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 95 ක් පමණි. එය විස්සයි-20 ලෝක කුසලාන තරගයකදී ශ්‍රී ලංකා කණ්ඩායමක් දැවී ගිය තෙවැනි අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසද සටහන් විය. මින් පෙර 2024 වසරේදී දකුණු අප්‍රිකාව හමුවේ ලකුණු 77 කටද, 2010 වසරේදී ඕස්ටේ්‍රලියාව හමුවේ ලකුණු 87 කටද ශ්‍රී ලංකාව දැවී ගොස් තිබිණ. 
 
එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ විල් ජැක්ස් ලකුණු 22 කට කඩුලු 3 ක් දවාගනිමින් තරගයේ වීරයා බවට පත් විය. මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ඔහු තරගයේ වීරයා සම්මානයට හිමිකම් තෙවැනි අවස්ථාවද මෙය විය. ශ්‍රී ලංකා ඉනිම සුනුවිසුණු කර දැමීම සඳහා ජැක්ස්ට අනගි සහායක් දුන් ආදිල් රෂීඩ්, ජොෆ්රා ආචර් සහ ලයෑම් ඩේව්සන් කඩුලු 2 බැගින් බිඳහෙළීමට සමත් වූහ.   
 
ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දෙදෙනාටම වැඩි වේලාවක් කඩුල්ලේ රැදී සිටීමට ජොෆ්රා අචාර් ඉඩ ලබා නොදුන්නේය. ඉන් අනතුරුව ක්‍රියාත්මක වූ විල් ජැක්ස් අධිවේගී ඕවර 6 නිමාවට පත්වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු 5 කට ලකුණු 34 ක් බවට පත්කළේ පිට පිටම යවන ලද පන්දු 2 කදී කුසල් මෙන්ඩිස් සහ පවන් රත්නායකද ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යවමිනි. දුනිත් වෙල්ලාලගේ ලකුණු 10 කට දැවී ගියේ ජැක්ස්ගේ තෙවැනි ගොදුර බවට පත්වෙමිනි. 
 
සෙසු පිතිකරුවන් එකා පිට එකා දැවී පන්දු 24 කට මුහුණ දෙමින් වැඩිම වේලාවක් පිටියේ රැදී සිටීමට සමත් වූ ශ්‍රී ලංකා පිතිකරුවා වූ නායක දසුන් ශානක හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 30 ක් රැස්කළේය. අදිල් රෂීඩ්ගේ පන්දුවක් හමුවේ හයේ පහරක් ගැසීමට උත්සාහ ගත් අවස්ථාවේ දසුන් දැවී ගියේ ඩීප් මිඩ් විකට් සහ ලෝන් ඕන් කළාප අතර දිවයමින් විල් ජැක්ස් සහ ටොම් බැන්ටන් එක්ව රැකගත් අනර්ඝ උඩ පන්දුවක් හේතුවෙනි. 
 
ඉනිමේ 8 වැනි කඩුල්ල ලෙස දසුන්ගේ දැවී යෑමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් බලාපොරොත්තුවත් ගිළිහී ගිය අතර එතැන් පටන් පන්දු 14 ක් ඇතුළත ශ්‍රී ලංකා ඉනිම නිමාවට පත් විය. ශ්‍රී ලංකා ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටි මහීෂ් තීක්ෂණ පන්දු 8 කදී හතරේ පහරක් සමග නොදැවී ලකුණු 10 ක් ලබා සිටියේය. 
 
පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත ක්‍රීඩකයෝ ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 146 ක් ලබාගත් අතර එංගලන්ත ඉනිමේ මුදුන් මූලය බවට පත්වූ ආරම්භක පිතිතරු පිලිප් සෝල්ට් පන්දු 40 කින් ලකුණු 62 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සමගිනි. ඉනිම අවසන් ඕවර කිහිපයේදී පන්දු 14 කට මුහුණදුන් විල් ජැක්ස් හතරේ පහර 4 ක් සමග ලකුණු 21 ක් රැස්කිරීමට සමත් විය. 
 
දක්ෂ පන්දු යැවීමක නිරත වූ දුනිත් වෙල්ලාලගේ ලකුණු 26 කට කඩුලු 3 ක් බිඳහෙළීමට සමත් වූයේ එංගලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ සෝල්ට්ගේ කඩුල්ලත් සමගිනි. එංගලන්ත පිතිකරුවන් පීඩනයට පත් කිරීම සඳහා වෙල්ලාලගේට අනගි සහායක් දුන් මහීෂ් තීක්ෂණ ලකුණු 21 කට කඩුලු 2 ක්ද, ඩිල්ෂාන් මධුෂංක ලකුණු 25 කට කඩුලු 2 ක්ද දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ. 
 
ලකුණු පුවරුව
 
එංගලන්තය
පිලිප් සෝල්ට් - ඇ.හේමන්ත ප.වෙල්ලාලගේ 62
ජොෂ් බට්ලර් - ක.මු. කළා ප.වෙල්ලාලගේ 7
ජෙකොබ් බෙතෙල් - ඇ.මධුෂංක ප.තීක්ෂණ 3
ටොම් බැන්ටන් - දුවද්දී දැවී ගියා (දසුන්) 6
හැරී බෘක් - ක.මු. කළා ප.වෙල්ලාලගේ 14
සෑම් කරන් - ඇ.මිෂාර ප.චමීර 11
විල් ජැක්ස් ඇ.වෙල්ලාලගේ ප.මධුෂංක 21
ලයෑම් ඩේව්සන් - ඇ.දසුන් ප.තීක්ෂණ 6
ජෙමී ඔවර්ටන් - නොදැවී 10
ජොෆ්රා ආචර් - ඇ.හේමන්ත ප.මධුෂංක 0
ආදිල් රෂීඩ් - නොදැවී
අතිරේක 5
එකතුව ඕවර 20  කදී කඩුලු 9 ක් දැවී 146 
කඩුලු වැටීම:
1-16(බට්ලර්), 2-32(බෙතෙල්), 3-49(බැන්ටන්), 4-68(බෘක්), 5-94(කරන්), 6-106(සෝල්ට්), 7-124(ඩේව්සන්), 8-135(ජැක්ස්), 9-135(ආචර්)
පන්දු යැවීම: 
ඩිල්ෂාන් මධුෂංක 4-0-25-2, දුනිත් වෙල්ලාලගේ 4-0-26-3, මහීෂ් තීක්ෂණ 4-0-21-2, දුෂාන් හේමන්ත 4-0-38-0, දුෂ්මන්ත චමීර 4-0-34-1 
 
ශ්‍රී ලංකාව 
පැතුම් නිස්සංක - ඇ.ඔවර්ටන් ප.ආචර් 9
කමිල් මිෂාර - ඇ.ඔවර්ටන් ප.ආචර් 6
කුසල් මෙන්ඩිස් - ඇ. සහ ප.ජැක්ස් 4        
පවන් රත්නායක - ඇ.බැන්ටන් ප.ජැක්ස් 0
දුනිත් වෙල්ලාලගේ - ඇ.බෘක් ප.ජැක්ස් 10
කමිඳු මෙන්ඩිස් - ඇ. සහ ප.ඩේව්සන් 13
දසුන් ශානක - ඇ.බැන්ටන් ප.රෂීඩ් 30
දුෂාන් හේමන්ත - හිට් විකට් ප.ඕවර්ටන් 5
දුෂ්මන්ත චමීර - ප.ඩේව්සන් 6
මහීෂ් තීක්ෂණ - නොදැවී 10 
ඩිල්ෂාන් මධුෂංක - ප.රෂීඩ් 0
අතිරේක 2
එකතුව ඕවර 16.4 කදී සියලු දෙනා දැවී 95 
කඩුලු වැටීම: 
1-15(පැතුම්), 2-20(කුසල්), 3-20(පවන්), 4-22(කමිල්), 5-34(වෙල්ලාලගේ), 6-52(කමිඳු), 7-69(දුෂාන්), 8-82(දසුන්), 9-94(චමීර), 10-95(මධුෂංක) 
පන්දු යැවීම: 
ජොෆ්රා ආචර් 3-0-20-2, විල් ජැක්ස් 4-0-22-3, ලයෑම් ඩේව්සන් 4-0-27-2, ආදිල් රෂීඩ් 3.4-0-13-2, ජෙමී ඔවර්ටන් 2-0-13-1 
 

අදහස් (0)

ශ්‍රී ලංකා පිලට ලජ්ජා සහගත පරාජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.