Last Update  :  2026-02-24 18:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට වාර්තාගත ජයක්
කාන්තා පිලේ කොදෙව් සංචාරය

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට වාර්තාගත ජයක්

editorial - 2026 පෙබ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම අතර ග්‍රෙනඩාවේ ශාන්ත ජෝජ්ස් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු එක්දින ජාත්‍යන්තර තරගයෙන් ලකුණු 10 ක තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සිකුරාදා (20 වැනිදා) සමත් වූහ. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමක් බටහිර ඉන්දීය කොදෙව්හිදී එක්දින තරගයක් ජයගත් පළමු අවස්ථාව ලෙසද මෙය වාර්තා අතරට එක් විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 241 ක ඉලක්කයක් හඹාගිය කොදෙව් ක්‍රීඩිකාවන්ට ඕවර 49.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 230 ක් පමණි. නිලකුණු ඕවරයක්ද සමග ඕවර 10 ක් යවා ලකුණු 44 කට කඩුලු 4 ක් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිරත වූ ඉනෝකා රණවීර තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන ලැබුවාය. ඇයට අනගි සහායක් දුන් කවීෂා දිල්හාරි ලකුණු 49 කට කඩුලු 3 ක් බිඳහෙළුවාය. 

කොදෙව් ඉනිමේ වැඩිම ලකුණු ලාභිණිය වූ ස්ටෙෆ්නි ටේලර් පන්දු 83 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 66 ක් රැස්කළාය. ලකුණු 80 කඩුලු 5 ක් බිඳවැටී තිබියදී ජැනීලියා ග්ලස්ගොව් සමග එක්ව හයවැනි කඩුල්ල සඳහා පන්දු 102 කදී ලකුණු 89 ක සම්බන්ධතාවක් ගොඩනගමින් කොදෙව් කණ්ඩායමට ජයග්‍රහණයේ බලාපොරොත්තු ගෙන ඒමටද ටේලර් සමත් වූවාය. 

කෙසේ වුවත් මල්කි මදාරාගේ දක්ෂ පන්දු රැකීම හමුවේ ටේලර් දුවද්දී දැවීයෑම හේතුවෙන් එම සම්බන්ධතාව නිමාවට පත් විය. පන්දු 67 කදී හතරේ පහර 7 ක් සමග ලකුණු 50 ක් රැස්කළ ග්ලස්ගොව්, කොදෙව් ඉනිමේ 7 වැනි කඩුල්ල ලෙස දැවීයෑමත් සමග ඔවුන් ජයග්‍රහණය වෙනුවෙන් තබා තිබූ අවසන් බලාපොරොත්තුවත් බිඳ වැටිණ. 

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 240 ක් රැස්කළ අතර හසිනි පෙරේරා (61) සහ හර්ෂිතා සමරවික්‍රම (66) එහිදී අර්ධ ශතක ලබාගැනීමට සමත් වූහ. පන්දු 86 කට මුහුණදුන් වාර්තා වූ හසිනි හතරේ පහර 6 කින්ද, පන්දු 105 කට මුහුණදුන් හර්ෂිතා හතරේ පහර 5 කින්ද සිය අර්ධ ශතක සැරසූහ. 

නායිකා චමරි අතපත්තු පන්දු 37 කදී හතරේ පහර 3 ක් සමග ලකුණු 27 ක් ලබා සිටියදී දැවී ගියාය. නිලක්ෂි සිල්වා හතරේ පහර 2 ක් සමග පන්දු 25 කින් ලකුණු 22 ක්ද, කවීෂා දිල්හාරි හතරේ පහර 2 ක් සමග පන්දු 21 කින් ලකුණු 22 ක්ද රැස්කරමින් ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ. හේලි මැතිව්ස් සහ ක්‍රිෂ්මා රම්හැරක් එහිදී කඩුලු 2 බැගින් දවාගත්හ. 

ශ්‍රී ලංකා කාන්තා පිල - ඕවර 50 කදී කඩුලු 6 ක් දැවී 240 
(හසිනි පෙරේරා 61, චමරි අතපත්තු 27, හර්ෂිතා සමරවික්‍රම 66, නිලක්ෂි සිල්වා 22, කවීෂා දිල්හාරි 22, විෂ්මි ගුණරත්න නොදැවී 16, දෙව්මි විහන්ගා 14, හේලි මැතිව්ස් 46/2, ක්‍රිෂ්මා රම්හැරක් 57/2) 

බටහිර ඉන්දීය කොදෙව් කාන්තා පිල - ඕවර 49.4 කදී සියලු දෙනා දැවී 230  
(ස්ටෙෆ්නි ටේලර් 66, ඩීන්ඩ්‍රා ඩොටින් 14, ජැනීලියා ග්ලස්ගොව් 50, ආලියා ඇලීන් නොදැවී 24, ඉනෝකා රණවීර 44/4, කවීෂා දිල්හාරි 49/3) 

-036 


අදහස් (0)

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට වාර්තාගත ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.