Last Update  :  2024-05-18 14:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සටනට බසිති

ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සටනට බසිති

Nisanka Sandeepani - 2018 පෙබ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඩකාහි ශ්‍රේ බංග්ලා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය වූ අද (8 වැනිදා) දෙපිලේම කඩුලු 14 ක් බිඳ වැටිණ. චිතගොන්හිදී පැවැති පළමු ටෙස්ට් තරගයට වඩා හාත්පසින්ම වෙනස් වූ මෙම තරගයේ පළමු දින පළමු පන්දුවේ සිටම තණතීරුවෙන් පන්දු යවන්නන්ට ලැබෙන සහයෝගය පැහැදිළිවම දැකගත හැකිවිය. 


තේ පානයට පෙර යැවුණු ඕවර 57 දී බංග්ලාදේශ පන්දු යවන්නන් තරගයේ පාලනය සම්පූර්ණයෙන් සියතට ගෙන තිබුණ නමුත් තේ පානයෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ආපසු තරගයට කඩා වැදුණහ. පළමු දිනයේ තරගය නතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 56 ක් ලබා අසීරු තත්ත්වයකට පත්ව සිටියේය. 


කඩුලු රකින්නා වූ ලිටන් දාස් (නොදැවී 24) සහ මෙහෙදි හසන් (නොදැවී 5) කඩුල්ලේ රැදී සිටි නමුත් බංග්ලාදේශය ශ්‍රී ලංකාවට වඩා ලකුණු 166 ක් පසුපසින් සිටී. මෙම තණතීරුවේ ස්වභාවය සලකා බැලීමේදී ශ්‍රී ලංකාව ගව් ගණනක් ඉදිරියෙන් සිටින බව කිව හැක්කේ තරගයේ සිව්වැනි වරට පන්දුවට පහර දීමට සිදුවන්නේද බංග්ලාදේශ පිලටම වන හෙයිනි. 

තේ විවේකය නිමා වී මඳ වේලාවකට පසු ඉනිම ඇරඹු බංග්ලාදේශ කණ්ඩායමේ මුල් කඩුලු 3 ලකුණු 12 ක් තුළ බිඳ දැමීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ. එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ සුරංග ලක්මාල් ඕවර 7 ක් යවමින් ලකුණු 15 කට ටමිම් ඉක්බාල් (04) සහ මුෂ්ෆිකුර් රහීම් (01) දෙදෙනාම අඩු ලකුණු සංඛ්‍යාවන්ට පිටියෙන් ඉවත් කළේය. 


පළමු ටෙස්ට් තරගයේදී ඉනිම් දෙකේදීම ශතක ලබාගනිමින් එවන් දක්ෂතාවක් දැක්වූ පළමු බංග්ලාදේශ ක්‍රීඩකයා ලෙස වාර්තාවක්ද තැබූ මොමිනුල් හක්, මෙම තරගයේදී ලකුණු ලබාගැනීමට පෙරාතුවම දුවද්දී දවාගැනීමකට හසුකර ගැනීමට ධනංජය ද සිල්වා සහ නිරෝෂන් දික්වැල්ල සමත් වූහ. 


පන්දු 55 කට මුහුණ දෙමින් කඩුල්ල ආරක්ෂා කරගැනීමට මහත් පරිශ්‍රමයක් දැරූ ඉම්රුල් කේයස් ලකුණු 19 ක් ලබා සිටියදී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීමට ඩිල්රුවන් පෙරේරාට හැකි විය. ප්‍රධාන විනිසුරුවන්ගේ තීරණයට එකග නොවූ කේයස්, තමා දැවීගිය ක්‍රීඩකයකු බවට දුන් තීරණය විනිසුරු තීරණ විමසීමේ ක්‍රමවේදයට යොමු කළේය. එහෙත් ප්‍රධාන විනිසුරුගේ තීරණයට එකඟ වෙමින් තෙවැනි විනිසුරුද කේයස් දැවීගිය ක්‍රීඩකයකු බවට සංඥා කිරීමත් සමග බිඳ වැටුණේ බංග්ලාදේශයේ සිවුවැනි කඩුල්ලයි. 


කාසියේ වාසිය දිනා පළමුවෙන් ලකුණු රැස්කිරීම තෝරාගත් ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාගත හැකිවූයේ ලකුණු 222 ක් පමණි. දඟ පන්දු යවන්නන්ගෙන් ඉනිම ඇරඹූ බංග්ලාදේශය වෙනුවෙන් අබ්දුර් රසාක් (63/4) සහ තයිජුල් ඉස්ලාම් (83/4) විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ අතර මුස්ටෆිසුර් රහමන්ගෙන් ඔවුන් දෙදෙනාට කදිම සහයෝගයක් ලැබිණ. 


පන්දු යවන්නෝ දිවා ආහාරයට පෙර චන්දිමාල්ද ඇතුලුව පිතිකරුවන් සිවු දෙනෙක්ම ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යැවූහ. වසර 4 කට ආසන්න කාලයකට පසු බංග්ලාදේශ කණ්ඩායමට ඇතුළත්ව සිටින වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක අබ්දුර් රසාක්, දිවා ආහාරයට පෙර බිඳවැටුණ කඩුලු 4 න් 3 කටම හිමිකම් කීවේය. 


රසාක්ගේ පන්දුවකට ඉදිරියට පැන පහරක් ගැසීමට තැත්කළ අවස්ථාවේදී දිමුත් කරුණාරත්න ලකුණු 3 කට දැවී ගියේ කඩුලු රකින ක්‍රීඩක ලිටන් දාස්ගේ ස්ටම්ප් කිරීමකට හසුවෙමිනි. ඉන් නොනැවතුන රසාක්, පිට පිට පන්දු 2 කදී ධනුෂ්ක ගුණතිලක සහ දිනේෂ් චන්දිමාල් පිටියෙන් ඉවත් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම අසීරු තත්ත්වයට ඇද දැමුවේය. මුහුණදුන් පළමු පන්දුවම කඩුල්ලේ වැදීම නිසා චන්මාල්ට ලකුණු නොළබාම පිටියෙන් ඉවත්ව යෑමට සිදුවූ අතර මුෂ්ෆිකුර් රහීම් අතට උඩ පන්දුවක් දෙමින් දැවීයන විට ධනුෂ්ක ලබා සිටියේ ලකුණු 13 ක් පමණි. 


හයේ පහරකින් සිය 5 වැනි ටෙස්ට් අර්ධ ශතකය සම්පූර්ණ කළ කුසල් මෙන්ඩිස්ට දිවා ආහාරයෙන් අනතරුව වැඩි වේලාවක් කඩුල්ලේ රැදී සිටීමට අවස්ථාව නොලැබිණ. අබ්දුර් රසාක්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් දැවීයන විය ඔහු සිය ඉනිම හතරේ පහර 10 කින් සරසා තිබිණ. 

ඩිල්රුවන් පෙරේරා (31) සමග එක්ව 7 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 52 ක්ද, අකිල ධනංජය (20) සමග එක්ව 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 43 ක්ද එක් කළ රොෂේන් සිල්වා ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු සංඛ්‍යාව 200 සීමාවෙන් ඔබ්බට රැගෙන ගියේය. එහෙත් තේ පානයෙන් අනතුරුව සිය දෙවැනි ටෙස්ට් අර්ධ ශතකය සම්පූර්ණ කළ රොෂේන් සිල්වා (56) එය හයේ පහරකින් සහ හතරේ පහර 3 කින් අලංකාර කළේය. 


ශ්‍රී ලංකා ඉනිමේ අවසන් පිතිකරුවා ලෙස දැවීයන විට පන්දු 124 කට මුහුණදී සිටි රොෂේන්, පළමු ඉනිමේදී වැඩිම වේලාවක් කඩුල්ලේ රැදී සිටි පිතිකරුවාද විය. 

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනස්කම් දෙකක් සමගින් මෙම තරගයට සහභාගි වන අතර එහිදී ලක්ෂාන් සඳකැන් සහ ළහිරු කුමාර වෙනුවට ධනුෂ්ක ගුණතිලක සහ අකිල ධනංජය කණ්ඩායමට එක්ව සිටිති.  මෙය අකිල ධනංජයගේ මංගල ටෙස්ට් තරගයයි. අකිල මේ දක්වා එක්දින තරග 19 කට සහ විස්සයි20 තරග 9 කට සහභාගි වී පිළිවෙලින් කඩුලු 21 ක් සහ 7 ක් බැගින් දවාගෙන තිබේ. 


අදහස් (0)

ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සටනට බසිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.